Thursday, February 3, 2022

දෙයියන් වැඳිල්ල (කඩවර ගොටුව දීම)

 


හැම කන්නෙම ගොයම් කපද්දි, අස්වැන්න සරු වුණත් නැතත්, අප්පච්චි පළවෙනි ගොයම් මිටිය කපල වෙනම පෝර උරියකට හරි ගෝනියකට හරි දාල බයිසිකලේ ලැගිජ් එකට තියල බැඳගෙන ගෙදර අරන් එනව. වේලිලා මදිනම් එලියෙන් ගල්ලැහැ මාගලක හරි තුන්හිරිය මාගලක හරි දාල අව්වේ වනනව. හොඳට වේලුනාම පොල්පිති වලින් එහෙම තලල පාගල බැත ටික කාටු වලින් වෙන් කරගෙන, බොල් වී අයින්කරන්න බෙලිගෙඩි තම්බල ගාල අලවපු පරණ චීත්ත රෙදි කෑල්ල හින්ද පිටපැත්ත ඇතුල්පැත්තට වඩා කළු පාටට පේන කුල්ලකින් හොඳට පොලල, ඊට පස්සෙ ඒ කුල්ලෙන්ම හොඳට හුළං කර ගන්නව. මේ බැත වලින් කාටු වලින් හරි අමුතු ප්‍රසන්න සුවඳක් එනව. (හැබැයි බැරිවෙලාවත් වැස්සට අහුවෙලා කොළ ඉදුනොත් නම් ගොයම් කොලෙත් ගඳයි බැතත් ගඳයි හාලුත් ගඳයි බතුත් ගඳයි )

ඔය වී ටික ගල්ලැහැ පන් වලින් වියපු ලබුකැටයක හැඩේ තියෙන කාදුවක් නැති බෑග් එකට දාල මහත ගෝනි නූලකින්  කට ටිකක් පහළට හිටින්න ගැට ගහල ඒක කොහු ලණුවකින් අපි බුදුන් වඳින ඉස්සරම අත්ත නිදාගත්ත ඉස්තෝප්පු කාමරේ පරාලෙකින් හොඳට ගැට ගහල එල්ලනව. ඒ අක්කියාල. ඔය වී ටික පෑහල තමයි කඩවර දෙවියන්ට ගොටුව දෙද්දි ගන්නෙ. කඩවර කියන්නෙ දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක් කියලත් මම සමහර තැන්වල කියවල තියෙනව. ඒත් අපි හැමකෙනෙක්ගෙම ඇතුළේ යක්ෂයා සහ දෙවියා කියන දෙන්නම  ජීවත් වෙනව කියන එක අපි හැමෝම අඩු වැඩි වශයෙන් දන්න සහ පිළිගන්න කාරණයක් හින්ද කඩවර කියන්නෙ දෙවියෙක්ද යක්ෂයෙක්ද කියන කාරණාව ගැන අපිට විවාද කරන්න හේතුවක් නෑ මට හිතෙන විදිහට.

අළුත් වී ගෙට අරන් අක්කියාල වහලෙන් එල්ලුවට පස්සෙ කඩවර ගොටුව දෙන කල් කුස්සියේ පපඩම් බදින්නෙ නෑ. කරවල, මිරිස්, මාළු, බිත්තර උයල කෑවට බැදල කන්නෙ නෑ. තෙම්පරාදු කරන්නෙත් නෑ මට මතක් විදිහට. කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, නාරං කැවුම්, ආස්මී වගේ තෙලෙන් බැදල හදන රස්කැවිලි හදන්නෙ නෑ. පිටි කොටන්නෙත් නෑ. ගේ ඇතුළෙවත් කුස්සිය ඇතුළෙවත් කෙසෙල් ඉදවන්නෙත් නෑ.  එක පාරක් හරි දෙපාරක් හරි විතරක්, මොකක් හරි විශේෂ උවමනාවකට, ගෙයින් එලියෙ තිබ්බ දරමඩුවේ කෙසෙල් කැනක් හරි දෙකක් හරි ඉදෙව්ව. මේ තහනම් දෙවල් කලොත් එහෙම, කඩවර දෙවියො කෝපවෙලා දෙයියන්ගේ ලෙඩ හැදෙනව තව අනතුරු උපද්‍රව වෙන්නත් පුළුවන් කියල ඔය ගැන අහපු වෙලාවක් අම්ම හරි කිරිඅම්ම හරි කිව්ව මට මතකයි. අපේ ගෙදර ඔය දේවල් අකුරටම පිළිපැද්ද. තාමත් මට ඔය සම්ප්‍රදාය පිටිපස්සෙන් තියෙන තාර්කික, විද්‍යාත්මක හේතුවක් නම් හම්බෙලා නෑ.

කඩවර ගොටුව දෙන එකට දෙයියන් වැඳිල්ල කියල තමා අපි හැමෝම සාමාන්‍යයෙන් කිව්වෙ. මම පොඩිම කාලේ අපේ ගෙදරත් දෙයියන් වැඳල තියෙනව. ඒත් මට වැඩිපුරම මතක මම ඉස්කෝලෙ හයේ හතේ ඉද්දි අහළ පහළ ගෙවල් තුන හතරක කට්ටිය එකතුවෙලා මහගෙදර ගත්ත දෙයියන් වැඳිල්ල. කඩවර දෙයියො කවදාවත් උරණ වුනේ නෑ ගෙවල් දෙක තුනක කට්ටිය එකට එකතුවෙලා දෙයියන් වැන්ද කියල. ඒ කාලෙ අපේ ගෙවල්වල ආදායම වැඩිවුණාට වැඩිය වේගෙන් වියදම වැඩි වෙච්චි හින්ද තනියම ගෙදර දෙයියන් වඳින එක වෙනුවට හැමොම පුරුදු වුණා ගෙවල් දෙක තුනක් එකතු වෙලා වැඩේට යන වියදම බෙදාගන්න. ගෙදර දොර තිබ්බ ඉඩකඩත් එක්ක මහගෙදර තමා හැම අතින්ම අපේ ගෙවල් පැත්තෙ දෙයියන් වැඳිල්ල ගන්න හොඳම තැන වුණේ. කොහොමත් දෙයියන් වැඳිල්ල කරන ගෙදරට වැඩි වියදමක් දරන්න වෙනව සම්බන්ධවෙන අනිත් පවුල් වලට වඩා. මහගෙදර අත්තට පෙන්ෂන් එකට අමතරව වතුපිටිවලිනුත් හොඳ ආදායමක් තිබ්බ හින්දත්, ඒ වගේම කුඹුරු වලින් හැම කන්නෙම වගේ අළුත් වී ගත්ත හින්දත් දෙයියන් වැඳිල්ල මහගෙදර ගන්න එකට විරුද්ධ වුණේ නෑ. දෙයියන් වැඳිල්ල තීන්දු කරගන්නෙ සති තුන හතරකට කලින්. කපුරාළට ආරාධනා කලාම තව දෙයියන් වැඳිලි වලට යන්න තියෙනවද බලල කෙම්මුර දවසකට තමා වැඩේ දාගන්නෙ. හැම තැනම දෙයියන් වැඳිලි අළුත් වී ගෙට ගන්න කාලෙට. මට කියන්න අමතක වෙච්චි අනිත් කාරණාව තමා අළුත් හාල් කෑමට ගන්නෙ දෙයියන් වැඳිල්ලට පස්සෙ. බදාදට වඩා අපි දෙයියන් වැන්දෙ සෙනසුරාදා දවස්වල. ඒ සති අන්තෙ හැමෝටම වගේ නිවාඩු හින්ද.

දෙයියන් වැඳිල්ලට දවස් දෙක තුනක් තියල ඒකට ඕනෑ කරන කළමණා ලෑස්ති කරගන්නව. ඒකට ඕනෙ වෙනව කැකුළු හාල්, තම්බපු හාල්, පොළොස්, කොස්, කොළ ගෝව, වම්බටු, කැකිරි, අච්චාරුවක්, මාළු හුරුල්ලො හරි සාලයො හරි. ඒ වගේම දෙයියන් වැඳිල්ලට හදන විශේෂම කෑම වෙච්චි හත්මාළුවට එලවළු ජාති හතක් ගන්නව. ඒකට අපේ පැත්තෙ ළපටි ඇඹුල් කෙහෙල්, නාඹර කජු, වැටකොළු, පතෝල, කොස් ඇට, මෑ කරල්, වට්ටක්ක දළු එහෙම ගන්නව. පපඩම් එහෙමත් බදිනව. අතුරුපසට කොණ්ඩෙ නැති පැතලි බටර් පාට දෙයියන් කැවුම් හදනව. ඒවට දාන්නෙ පැණි නෙවෙයි සීනි. ඒ හින්ද සාමාන්‍ය කැවුම්වල රන්වන් දුඹුරු පාට එන්නෙ නෑ. බැටර් එක නම් වෙනස් නෑ මං දන්න තරමින්. මම හරිම කැමතියි දෙයියන් කැවුම් කන්න අපේ ගෙදර අවුරුද්දට හරි බාර හාර වලට හරි හදපු පැණි කැවුම් වලට වඩා. දෙයියන් කැවුම් එක්ක ආයෙ අතුරුපසට තියන්නෙ ගොඩක් වෙලාවට දුම් ගස්සල ඉදවපු ඇඹුල් කෙහෙල් හරි සීනි කෙහෙල් හරි. ඒ ස්වාභාවික විදිහට ඉදුණු කෙහෙල් හදිස්සියෙන් හොයාගන්න බැරි හින්ද.

මුලින්ම අප්පච්චි හරි අත්ත හරි කිරිඅම්ම හරි අක්කියාල මල්ලට වැඳල ඒක අරන් ලිහල ඒකෙ තියෙන වී ටික පන් මල්ලකට දාලා ගිහින් දෙනව. මහගෙදර කිරිඅම්ම ඒක වෙනම පරිස්සමින් අරන් තියනව. අක්කියාල ඉඳුල් කරන්න තහනම්. තව එදා කෑමට අළුත් හාල් එහෙම වෙනම ගෙනිහින් දෙනව. අනිත් ගෙවල් වලිනුත් එහෙමයි. කාගෙ හරි ගෙදරක කඩාවැටිච්චි ඇඹුල් කෙහෙකනක් එහෙම තිබ්බොත් ඒකත් ගිහින් දෙනව. කොස් පොළොස් නම් මහගෙදර වත්තෙන්ම කඩාගන්න පුළුවන්. කොස් මැල්ලුමකට කොස් හොයාගන්න නැති වුණොත් බ්‍රහස්පතින්ද පොළෙන් කොළ ගෝව අරන් එනව. මාළු ගෙනත් දෙන්න ගමට මාළු ගේන සුප්පර මනියට දවස් දෙක තුනකට කලින් කියනව. සුබ්‍රමනියම් කියන මාළු වෙළෙන්දගෙ නම ගමේ මිනිස්සු ලේසියට උච්චාරණය කෙරුවෙ සුප්පර මනිය කියල. ඝණ උඩු රැව්ලක් තිබ්බ කෙට්ටු වැඩිය උස නැති දත් දෙක තුනක් තිබ්බ, කිළුටු පාට අත්දිග කමිසෙකුයි සරමකුයි ඇඳල හිටපු හයියෙන් කතාකරන බයිසිකලේ මාලෝ මාලෝ කියල කෑ ගගහ මාළු විකුණපු සුබ්‍රමනියම් පස්සෙ කාලෙක වහබීල මැරුණ කියල ආරංචි වුණා.

දෙයියන් වැඳිල්ල දවසෙ මද්දහන වගේ වෙද්දි වෙද්දි ඒකට සම්බන්ධ වෙන ගෙවල් වල ගෑණු උදවිය ඔක්කොම වගේ මහගෙදර කුස්සියට රොක්වෙනව. මාත් අම්ම හරි කිරිඅම්ම හරි පස්සෙන් වැටිල යනව. මහගෙදර කිරිඅම්ම එතකොටත් වැඩ පටන් අරන්. නෝන නැන්දයි සුමතිපාල මාමයි එනව. කඩේ පුංචිත් එනව. මහගෙදර කුස්සියෙයි ඒකට අල්ලල තියෙන කෑම කාමරෙයි හත් අට දෙනෙකුට එකට වැඩකරන්න් පුළුවන්. සමහරු මිටි බංකු උඩ ඉඳගෙන කෙසෙල් කප කපා සුද්දකර කර ලොකු ඇලුමිනියම් කොරහකට දානව. සමහරු කජු නාඹර කප කපා අතේ කජු කිරි ගෑවෙන්නෙ නැති වෙන්න පරිස්සමට අමු ඉරට කෑල්ලකින් මදේ අයින්කරල භාජනේකට දානව. අක්කියාලේ වී පාහිනව. දෙමෝලෙන් පිටි කොටනව. එලවළු කපනව. පොළොස් පොතු රැහැ රැහැ මාලුවට කෑලිවලට කපනව. කොස් මදුලු අරිනව. ගෝව කොළ සුද්ද කරනව. පොල් ගානව. සුදුයි කළුයි පූස් තඩියව පන්න පන්න, මාළු කපනව. හාල්  ගරනව. දර එකතු කරනව. ඉන්න කට්ටියට තේ දෙන්න තේ වක්කරනව. එතන වැඩ කෝටියයි. හැබැයි එකක්වත් ඉඳුල් කරන්න තහනම්. මාළුපිණිවල ලුණු මිරිස්වත් බලන්නෙ නෑ. කපල අයින් කරපු මාළු ඔළු බඩවැල් එහෙම බල්ලන්ට පූසන්ට කන්න නොදී පළපු පෝර උරියකට දාගෙන ගිහින් කොරපොතු හෝදපු වතුර එක්ක ඈතින් පොඩි වලක් කපල වළලනව. දානෙකට කෑම හදනව වගේ තමා. මාත් ඉතින් වැඩකරන ගෑණුකට්ටිය අස්සෙන් රිංග ගෙන ගිහින් වහුපැටියෙක් වගේ හොම්බදාල බලනව හැමතැනම මොනවද කරන්නෙ කියල. මට කරන්න වැඩක් නෑ එතන.

ටික වෙලාවකට පස්සෙ පොඩි කට්ටිය ඔක්කොම ටික එකතු වෙනව. මමයි, සිසිරයි, නලින්දයි, අපේ මල්ලියි, චූටි මල්ලියි, කඩේ ලොකු නංගියි, පොඩි නංගියි එහෙම. චාමිකා නංගිව මතක නෑ එයා ගොඩක්ම පුංචි හින්ද. ටිකක් හවස් වෙලා දූලියද්දෙ කට්ටියත් එනව. තිලකෙ බාප්පත් එනව. හවස් වරුවෙ අපිටත් පොඩි පොඩි වැඩ පැවරෙනව. මායි සිසිරයි කවුරු හරි මාමා කෙනෙක් එක්ක කොටුවෙ කෑල්ලට යනව කෙහෙල් කොළ කපන්න. පිඟන් එහෙමත් අරන් එන්න වෙනව. කඩවර ගොටුව තියන්න අඩි පහක්  විතර දිග මෝරපු වැටමාර ලීයක් අතු කෑල්ලක් කපල අරන් උඩු අතට බිමින් හිටවල මුදුනෙ ඉඳන්  අඩි තුන් කාලක් විතර පහළට සමාන තීරු තුනක් හරි හතරක් හරි වගේ වෙන්න මන්නෙන් කපල පළනව. එහෙම පළල පෙති දිග ඇරපු ඇරපු නෙළුම් පොහොට්ටුවක් වගේ හිටින්න පැල්මවල් වලට වැට මාර ලී වලින්ම කූඤ්ඤ ගහනව. ඊට පස්සෙ නාරස්සනෙන් පොඩි වලක් හාරල ඒකෙ හිටවනව. ඊට අඩි දෙක තුනක් එහාට වෙන්න ගොක් අත්තකින් මහගෙදර අත්තා වියපු මල්පැලත් වැටමාර කණු තුනක් හිටවල ඒවගෙ මුදුනට තියල ගොක් කොල වලින් හරි කොහු ලණු කෑල්ලකින් හරි බඳිනව. මහගෙදර වත්තෙ හරක් මඩුවට ටිකක් එහායින් තමා කඩවර ගොටුව දෙන තැනයි මල් පැලයි හදන්නේ.

හැන්දෑ වෙද්දි අපි ගෙවල් වලට ඇවිත් ඇඟ හෝදගෙන අළුත් ඇඳුමක් දාගෙන අයෙත් යනව මහගෙදරට. දැන් කපුරාළත් ඇවිල්ල.  කපුරාළ අත්තත් එක්ක කඩවර ගොටුව හදනව. කැකුළු බත් ටිකකුයි තම්බපු හාල් බත් ටිකකුයි. උයපු මාළුපිණි හැම එකකින්ම ටික ටික තවපු කෙහෙල් කොලයකින් හදාගත්ත ගොටුවට බෙදාගන්නව. කැවුමයි කෙසෙල් ගෙඩියකුයි උඩින්ම තියනව. බුලත් විටකුත් තියනව. පඬුරුත් තියනව. දියමස් වලට හාල්මැස්සො දෙතුන් දෙනෙකුයි, ගොඩමස් වලට පරණ මුවහං කෑල්ලක් එහෙමත් ගොටුවෙන් තියනව. ඊට උඩින් ලී කෑල්ලකට රෙදි පාංකඩ ඔතල හදාගත්ත පොඩි පන්දම පත්තු කරල ඒක කෙලින් හිටින විදිහට ගොටුව ටිකක් ඇතුළටම බස්සනව. ගොටුව අත් දෙකෙන්ම අල්ලගත්ත කපුරාළ පස්සෙන් අපි ඔක්කොම හිමින් හිමින් පේළියට යනව. කුරුම්බ ගෙඩියයි, ඒක කපන්න පිහියකුයි, පොල් මලයි අපි අරන් යනව. ටෝච් එකේ බැටරි බැහැල නම් හුළු අත්තකුත් පත්තු කරන් යනව. ගිණි පෙට්ටියකුත් සාක්කුවෙ දාගෙන යනව.  ගිණි අඟුරු කබලකුත් අරන යනව දුම්මලයි සාම්බ්‍රානියි එක්ක. දැන් හතට විතර ඇති. පිරිමි කට්ටියට විතරයි එතෙන්ට යන්ඩ අවසර තියෙන්නෙ. පිටිපස්සෙම ඉන්න අපි කළුවරේ ගල්වල මුල්වල හැප්පි හැප්පි යනව. කණාමැදිරියො එහෙට මෙහෙට පියාඹනව. අපේ කකුල්වලටම වේලිච්චි කොළ පෑගෙන සද්දෙට මට හිතෙන්නෙම නයෙක් පොළඟෙක් ඉඳල පැනල කයි කියල. වවුල්ලු අපේ සද්දෙට කලබල වෙලා තටු ගහල පියාඹල යනව.

කපුරාල ගොටුව කණුව උඩින් පරිස්සමින් තියල, මල් පැලේ පහන පත්තු කරනව. මට මතක විදිහට හනසු වලින් හදපු විලක්කුවකුත් පත්තු කරගෙන එනව කියල කපුරාළගේ වැඩ වලට. ඒත් හරියටම ෂුවර් නෑ. මේ දේවල් කරන පිළිවෙලත් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. කුරුම්බෙ කපල වතුර ටිකක් අර ගොටුවට වක්කරනව. ඊට පස්සෙ හක්ගෙඩිය පිඹල යාතිකාව පටන් ගන්නව. හක්ගෙඩිය පිඹිණ සද්දෙට කණ් අඩි හිරි වැටෙනව. පිඹල ඉවර වුණාට පස්සෙත් ඒ සද්දෙ විනාඩියක් විතර කණ් ඇතුළෙ දෝංකාර දෙනව. කපුරාල උඩට ඇඳුමක් නැතුව සුදු සරමක් ඇඳගෙන රතුපාට ලේන්සුවක් ඔළුවෙ ජටාව වගේ බැඳගෙන ඉන්නෙ. ටිකකින් යාතිකාව පටන් ගන්නව.  කපුරාළ යාතිකාව අතරෙ ගිණි අඟුරු කබලට දුම්මලයි සාම්බ්‍රානියි ඉහිද්දි අඟුරු යකෙක්ගෙ ඇස් වගේ රතුම රතු පාටට දිලිසෙනව.  දුම්මල සාම්බ්‍රානි පිච්චෙන සුවඳ යාතිකාව ඉවර වෙනකල්ම වගේ හුළඟේ එල්ලිලා ඉන්නව.

විහාරගෙවල් වල තොරණ් වල ඇඳල ඉන්න යක්කු කළුම කළු පාටට ලෝම පිරුණු රතු ඇස් තියෙන උල් දත් තියෙන උන් උනාට, ඒ චිත්‍ර වලින්  ඒ කැටයම් වලින්  හැම යකෙක්ම නිරූපණය වෙනවද කියන එක මම ඒ කාලේ නොහිතුවත් දැන් හිතනව. ඔයිට වැඩිය හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන, ලස්සනට හිනාවෙන බොහොම සුහදශීලීව කතාකරන ඔයිට වැඩිය සියදාස් ගුණයක් භයානක යක්කු මේ ලෝකෙ ඉන්නව කියල අපි හැමෝම හොඳටම දන්නව.

කපුරාළ පැයක් විතර තිස්සේ කඩවර දෙයියන්ටත් අනෙකුත් දෙවිවරුන්ටත් කන්නලව් කරනව. මතක විදිහට කුරුම්බ ගෙඩියට පොල්මල් කිණිත්තක් දාල ඒකෙන් අපි කට්ටියටම වදින විදිහට මතුර මතුර කපුරාල පැන් ඉහිනව. මේ පැය තිස්සෙම අපි මදුරුවො තල තලා හිටගෙන වැඳගෙන ඉන්නව. වෙලාවකට කපුරාළ අඬගහන යක්කුයි දෙවිවරුයි ඇවිත්ද කියල මම ඇස් පුළුවන් තරම් ඇරල ලොකු කරල බලනව. පහන් එලිය වැටෙන සීමාවෙ ඇරෙන්න අනිත් හරිය කට්ට කලුවරයි. තනියම ඉන්න නම් බෑ. කට්ටිය ඉන්න හින්ද අවුලක් නෑ. යාතිකාව ඉවර කළාට පස්සෙ අපි කට්ටියම ආපහු මහගෙදර මිදුල පැත්තට යනව. යාතිකාවේ පළවෙනි කොටස එතනින් ඉවරයි.

දැන් තිහක් තිස්පහක් විතර ගෑණු පිරිමි ළමයි මහගෙදර මිදුලට එකතු වෙලා ඉන්නව. මිදුලෙ මාගල් පැදුරු එළල කට්ටියම පන්සලේ බෝධි පූජාවකදි වගේ ඒවගෙ වාඩිවෙනව. කපුරාළ ආයෙත් යාතිකාව පටන් ගන්නව. වෙලාවකට කොඳුරනව. වෙලාවකට බෙරිහන් දෙනව. කොහොම කළත් ඒ මැතිරිල්ලට ඒ කපුරාළට ආවේණික තාලයක් තියෙනව. මතුරන අතරෙම පොල්මල් කිණිත්තෙන් කහවතුර ඉහිනව. කහවතුරෙනුත් නාන්න බැරි හින්ද අපි ටිකක් පස්සට වෙන්න ලොකු කට්ටියට වැහිල ඉන්නව. යාතිකාව ඉවර වුණාම අපි බුලත් කොළවල ඔතල පඬුරු තියනව හෙප්පුව උඩින්. කපුරාළ ආපහු යන්න ලෑස්ති වෙද්දි ඒ පඬුරු ඔක්කොම මල්ලකට එකතු කරල දෙනව  ලොකු කෑම පෙට්ටියකුත්, පොඩි ගාස්තුවකුත් එක්ක.

ඊට පස්සෙ එන්නෙ දෙයියන් වැඳිල්ලෙ හොඳම මම කැමතිම කොටස. පෝටිකෝවෙන් ඇතුල් වෙලා ඉස්තෝප්පුව මැද්දෙන් අත්ත වාඩි වෙන ලොකු වේවැල් හාන්සිපුටුව ළඟ තියෙන දොරෙන් සාලෙට ඇතුල් වෙනව. සෘජුකෝණාශ්‍රයක හැඩය තියෙන සාලෙ ලයිට් ඔක්කොම පත්තු කරල දවල් වගේ පේන්නෙ. දකුණු පැත්තේ බිත්තිය දිගට පැදුරු එලල කපුරාලයි මහගෙදර අත්තයි අපේ අත්තයි එක්ක අපි කට්ටියත් වාඩිවෙනව. බාප්පල මාමල නැන්දල එක්ක අප්පච්චිත් අපි කට්ටියට කෑම බෙදනව. මුලින්ම තවපු කෙහෙල් කොල බෙදාගෙන යනව. ඊට පස්සෙ දුම් දාන කැකුළු බත්. ඊට පස්සෙ උණු උණු තම්බපු බත්. බත් ලොකු තසිම් වලට දාගෙන ඇවිත් බෙදන කෙනා නැමිල පීරිසියකින් කෙහෙල් කොලේ මැද්දට දානව. අපිට ඕන තරම් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සෙ හත්මාළුව. දැන් කෑමවල සුවඳට මට කෙළත් ගිලෙනව. ඊට පස්සෙ පොළොස්. පොලොස් තිබුණොත් ගෝව කොල මැල්ලුමක් එනව. පොළොස් නැත්නම් කොස් මැල්ලුමක් තියෙනව. වම්බටු හරි කැකිරි හරිත් තියෙනව. අච්චාරුවකුත් තියෙනව. හුරුල්ලෝ හරි සාලයො හරි මාළු ජාති දෙකෙන් එකක් තියෙනව. බැදපු පපඩම් එහෙමත් බෙදනව. කපුරාළ ඉඳුල් කරල අත්තලත් කන්න ගත්තට පස්සෙ අපිත් කන්න ගන්නව.

පොඩිකාලෙ ඉඳන්ම මම මාළුපිණියි බතුයි හොඳටම අනල කනවට වඩා, බතුයි මාළුපිණියි ටිකයි එකට තියල කලවම් කරල එක එක මාළුපිණි වල රහ වෙන වෙනම දැනෙන විදිහට කන්න තමයි කැමති. උණු උණු දුම් දාන කැකුළු බත් ටිකකට හත්මාළුව ටිකක් කලවම් කරල පොළොස් කෑල්ලකුත් එක්ක හුරුල්ලො පොඩි කෑල්ලක් කඩල කලවම් කරල කද්දි පුදුම රහක් තියෙන්නෙ. මම වෙඩින් වලටයි එක එක function වලටයි ගිහින් කොළඹ තියෙන හැම 5 star හොටෙල් එකකින්ම  වගේ එක පාරක් හරි කාලා තියෙනව. තව වෙන රෙස්ටුරන්ට් වලිනුත් කාල තියෙනව. මම කැමතිම මවුන්ට් ලැවීනියා හොටෙල් එකෙ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට. හැබැයි කැකුළු බත්, හත්මාළුව, පොළොස්, හුරුල්ලො මාළු එක්ක ඒ වින්ද රහ නම් වෙන කොහෙදිවත් විඳල නෑ තාම.

සැරෙන් සැරේ කට්ටිය ඇවිත් බත් හත්මාළුව එක්ක අනිත් මාළුපිණිත් බෙදනව. ඊට පස්සෙ දෙයියන් කැවුම් දෙකකුයි කෙහෙල් ගෙඩි දෙකකුයි කෙහෙල් කොලේ අයිනෙන් බෙදාගෙන යනව. අපිට නැගිටින්න බැරි ගාණටම කාලා ඉන්න හින්දද කොහෙද අත් හෝදන්නත් ලොකු ඇලුමිනියම් කොරහකට හරි ප්ලාස්ටික් බේසමකට හරි වතුර ගෙනත් දෙනව. ඒකෙන් අත් හෝදගෙන. ඊට පස්සෙ හම්බෙන ලේන්සුවලින් අත් පිහාගෙන, අමාරුවෙන් කැවුම් ගෙඩි දෙකත් කෙහෙල් ගෙඩි දෙකත් කනව. තව ඕනෙ නම් කුස්සියට ගිහින් ගන්න පුළුවන්. දැන් ඉස්මුරුත්තාවටත් එනව. ඉඳුල් එක්ක කොහෙල් කොළ ටිකත් කවුරු හරි එකතු කරල අරගෙන යනව. කවුරුත් ඒ ගැන එහෙම කතා නොකලට එතනත් තරු පහේ සේවයක් තියෙනව.

මම නැගිටල හිරිවැටිල තියෙන කකුල් හයියෙන් බිම ගහල දිග ඇරල හිරි ඇරගෙන දහය එකොළහ වෙද්දි අත්තයි අප්පච්චියි එක්ක ගෙදර එනව.




 


කෝච්චියෙන් ත්‍රිකුණාමලයට

 

ගිය අවුරුද්දේ පළවෙනි කොරොන රැල්ල අඩුවෙලා දෙවෙනි  රැල්ල එනකම් ලොකු අවුලක් නැති කාලයක් නෙ තිබ්බේ. ඒ කාලේ තමා මට ඕනෙ උනේ ත්‍රිකුණාමලේට ට්‍රිප් එකක් යන්න. මට ඉතින් ට්‍රිප් එකක් යන්න හිතුනම යන්නම ඕනේ. පවුල් ප්‍රශ්න වගකීම් නැති මට ඉතින් ට්‍රිප් එකක් යන්න බලන්න ඕනේ ඔෆිස් එකේ හදිස්සි වැඩ මොනවත් තියෙනවද කියලයි විතරයි. කොහොමත් මම ට්‍රිප් එකක් යන්න තෝරගන්නේ වැඩ අඩු කලබලයක් නැති කාලෙක. හිත කරදරෙන් ට්‍රිප් යන්න මම කොහොමත් කැමති නෑ. නිතර ට්‍රිප් යන්න හම්බෙන්නේ නැති හින්ද මට ඒ ඉඳල හිටල යන ට්‍රිප් එක හොඳට නිදහසේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක මම කොහොමත් ආත්මාර්ථකාමී කෙනෙක්. මගේ පාලනයෙන් එලියේ ඉන්න මිනිස්සුන්ගෙ හැසිරීම හින්ද මගේ මම කැමති දේවල් කරන්න තියෙන නිදහස සීමා වෙනවට, මම අකමැති දේවල් කරන්න වෙනවට, මගෙ හිතේ සතුට සාමය නැතිවෙනවට මම කැමති නෑ.  මම හිතන්නෙ මගේ තනිකමට තියෙන අකමැත්තට වඩා නිදහසට තියෙන කැමැත්ත වැඩියි. ඔන්න ඔය හේතුව හින්දා මම ට්‍රිප් යන්නේ තනියම ගොඩක් වෙලාවට . අනිත් එක මට දුර පළාතක දවස් 4 ක වත්  ට්‍රිප් එකක් යන්න ඕනේ. ඔය කොන්දේසී ඔක්කොමත් එක්ක මට කොහොමත් ගැළපෙන්නේ තනියම යන ට්‍රිප් තමා.  

ඔන්න ඉතින් පැය 4ක් 5ක් අන්තර්ජාලය පීරලා හෝටල් 20 ක විතර පොටෝ ටික ඔක්කොමත් බලල, මිල ගණන් සංසන්දනය කරල උප්පුවේලි වල තියෙන ගණන් සාධාරණයි කියල හිතුන පොඩි බීච් හොටෙල් එකක් තෝරගත්ත නවතින්න. දවස් 4 ක රෑ 3ක ට්‍රිප් එකක්. සති අන්තෙකුත් එක්ක සිකුරාදයි සඳුදයි තමා ට්‍රිප් එකට දවස් දාගත්තේ. තනියම ට්‍රිප් යන එකෙන් වෙන්න පුළුවන් අතුරු ආන්තරාවන්ගැන පොඩි දේශනාවක් එහෙම දීලා මිස්ටර් සජිත් නිවාඩුව අනුමත කරල දුන්න.  කෝච්චියෙ තමා යන්නෙ. කොටුව ස්ටේෂන් එකෙන් තම කෝච්චියට නගින්නේ. ත්‍රිකුණාමලේ - මඩකලපුව උදේට යන කෝච්චිය බුක් කරන්න ඕනෙ නෑ. බුක් කරන්නත් බෑ මම දන්න තරමින්. අප්පච්චිට කතා කරල කිව්ව ඒ සති අන්තේ ගෙදර එන්නෙ නෑ කියල. ඊට කලින් සති අන්තේ කියලයි තිබුණෙ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනව කියල.

ඔන්න දැන් ඉතින් බ්‍රහස්පතින්දා හවස. මිස්ටර් සජිත්ට කියල 4.30 වගේ ඔෆිස් එකෙන් පැනගත්ත. තලවතුගොඩ බෝඩිමට ඇවිල්ල ඇඳුම් ටික පැක් කරන්න ගත්ත. යන්නයි එන්නයි ඇඳුම් දෙකක් වෙනම ඕනෙ. තව එහෙ ගිහින් හොටෙල් එකෙදි අඳින්නයි ඇවිදිද්දි අඳින්නයි ඒවත් ඕනේ. මට ඉතින් ට්‍රැවල් බෑග් එකකට තියෙන්නෙ ලැප්ටොප් එක ගෙනියන්න අරන් තියෙන ලොකු බැක්පැක් එක තමයි. ඒක ඉතින් ඇඳුම් ටික ඔක්කොම දැම්මට පස්සේ වහන්නත් බැරි තරම්. ඒ වගේම බරයි ඉතින්. ඊට පස්සේ අනිත් ඕනෙකරන සබ්බ සකලමනාවමත් බෑග් එකට ඔබා ගත්ත කොහොම හරි. උතුවන්කන්ද පාර ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ ඉන්දික එක්ක උදේ ඔෆිස් යද්දිම මම කියල තිබ්බේ ඊළඟ දවසේ පාන්දර හයර් එක ගැන. ඉන්දිකටත්  කෝල් එකක් දීල ඒගැන මතක් කරල, හොටෙල් එකට කතා කරල බැලුව බූකින් එක හරිද කියල. ඒකත් හරි. උදේට ඇඳන් යන ඇඳුම් ටිකත් මැදල නාලා කාල 3.00 ට ෆෝන් එකේ එලාම් එක තියල නිදාගත්තට නින්ද ගියේනම් නෑ ඉතින්.

උදේ ඉතින් ලකලැහැස්ති වෙලා පාන්දර 4.15 වෙද්දි, ඉන්දික කතා කලා බෝඩිම කිට්ටුවට ඇවිත්. ඉන්දික එක්ක පන්නිපිටිය හන්දියට ඇවිත් 4.40 වගේ වෙද්දි 138 හෝමාගම බස් එකකට නැගගත්ත. කොහොමත් ඔය වෙලාවට 138 බස් කොට කොටා යන්නෙ නෑ. පැය භාගෙන් පිටකොටුවෙ ස්ටේෂන් එකට යන්න තියෙන මගී ගුවන් පාලම ළඟට ආවා. බැක්පැක් එකත් බරට බරේ එල්ලගෙන පඩිපෙල නැගල ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගිහිල්ල හැරිල බැහැල ටික්ට් කවුන්ටරේට ගිහින් ත්‍රිකුණාමලේට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. ඊට පස්සේ ස්ටේෂන් එකේ පොඩි ශොප් එකකින් බිත්තර රෝල්ස් දෙකක් අරගෙන බෑග් එකට දාගත්ත. වතුර බෝතලෙකුත් ගත්ත. වොෂ් රූම් එකටත්  ගිහින් 4 වෙනි වේදිකාවෙ තිබ්බ පුටුවක වාඩි වෙලා දැන් ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. එතකොට කොහොමත් 5.30 වගේ ඇති.

ටික වෙලාවකින් කෝච්චිය ආවා. මාත් ඉතින් කවුළුවක් ළඟ සීට් එකක ඉඳගෙන ශටර් එක ඇරගත්තා. මම වාඩිවුනේ ලේක් හවුස් එක පැත්තට මූණ දාගෙන දකුණු පැත්තේ සීට් එකක. ඔය කෝච්චිය  මහව හංදිය ස්ටේෂන් එකට යනකම් එක පැත්තකට ගිහින් ඊට පස්සේ අනිත් පැත්තට යන්නේ. දැන් මම ඉඳගෙන ඉන්න විදිහට කෝච්චිය පිටිපස්සට යනව වගේ තමා දැනෙන්නෙ. මහව හංදිය ස්ටේෂන් එකෙන් පස්සේ පිටත් කොච්චියෙ එන්ජින් එක අනිත් පැත්තට අමුණල තමා යන්නේ. එතකොට මම ඉන්නේ ඉස්සරහට මුහුණ දාගෙන. මම කෝච්චිය ඉස්සරහට යද්දි තමා ගමනට කැමති. ගිහින් එද්දි නම් ඉතින් ඕනෙ පැත්තක්. මාස්ක් එක ගලවල රෝල්ස් දෙක ඉක්මනට කාල ආයෙත් මාස්ක් එක දාගත්තා. අද පත්තරේකුත් ගත්තා කෝච්චිය යන්න පටන් ගන්නකම් කියවන්න. වෙලාව හයට පහයි. හයට පහේ ඉඳන් හයයි පහ වෙනකන් වෙලාව මට දැනෙන්නේ පැය ගාණක් දිගයි වගේ. බැරිම තැන මම වොච් එකේ තත්පර කටුව දුවන දිහා බලන් හිටිය. මොබයිල් එකේ බැටරි පවර් සේව් කරගන්න ඕනෙ පැය අටකට වඩා දුර ගමනක් හින්ද. පොටෝ එකක් එහෙම ගන්න ඕනේ උනොත්. ඒ හින්ද ෆෝන් එක බොහොම මසුරු විඩිහට තමා පාවිච්චි කලේ. මම බැටරි පවර් සේව් කරගන්න මොබයිල් ඩේටා ඕෆ් කරල ෆෝන් එක අල්ට්‍රා මෝඩ් දාගෙන හිටියෙ.

විසිල් එක පිම්ඹට පස්සේ හෝන් එක ගහල කෝච්චිය පැද්දි පැද්දි පිටිපස්සට හිමින් හිමින් යන්න පටන් ගත්ත. ඊට පස්සේ ටික වෙලාවකින් කෝච්චිය යන වේගෙ වැඩිවුනා. රාගම හංදිය, ගම්පහ, වේයන්ගොඩ ස්ටේෂන් පහුකරගෙන පහුකරගෙන ඇවිත් මහව හංදිය ස්ටේෂන් එකෙන් පැය භාගයකට විතර නැවැත්තුව එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණන්න. මාත් බැහැල බැලුව වොෂ් රූම් යන්න ඕනෙකමකුත් තිබ්බ හින්දා. ඒත් ජෙන්ට්ස් වොෂ් රූම් එක රිපෙයාර් කරන ගමන් හින්දා හිත හදාගත්ත ගල් ඔය හංදියට යනකම් ඉවසගෙන ඉන්න. ට්‍රේන් වල ටොයිලට් මාරම අපිරිසිදුයි ගඳයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒවා නිකමටවත් හෝදන්නෙ නැද්ද මන්ද. ඉවසන්නම බැරි උවමනාවකට ඇරෙන්න මම යන්නෙ නෑ මළාට ඒවට.

කෝච්චිය දැන් ආයෙත් ගමන පටන් ගත්තා ඒ පාර හරි පැත්තට ඉස්සරහට. ත්‍රිකුණාමලයට මඩකලපුවට යන පාරෙ ඉතින් විශේෂයෙන් කියල බලන්න දේකට තියෙන්නෙ කලාවැව ස්ටේෂන් එකෙන් පස්සෙ හම්බවෙන කැලෑවල් තමා. හබරණ ගල් ඔය රක්ශිත මැද්දෙන් යද්දි තමා ඒ පාරේ ලස්සන පේන්නෙ. මම ජිරාෆ් වගේ බෙල්ල දික් කර කර බලනවා අලි එහෙම පේන්න ඉන්නවද කියල හරියට බදුලු කෝච්චියෙ යද්දි දිය ඇළි තියෙනවද කියල බලනව වගේ. ඒත් අලියෙක් තියා අලි බෙට්ටක්වත් මට පේන සීමාවේ නම් නෑ. අනිත් එක කෝච්චිය ඔය හරියෙදි යන්නේ බුලට් ට්‍රේන් එකක් වගේ වේගෙන්. ඒ යන වේගෙට අලියෙක් නෙමේ ඩයිනොසෝරයෙක් හැප්පුනත් චප්ප චොරොස් වෙනවා. කැලෙත් පේන්නෙ  ටිකක් බොඳවෙලා වගේ.

ගල් ඔය හංදියෙදි කෝච්චිය නවත්තනව. අපේ පැත්තෙනම් නවත්තනවට හිටවනව කියලත් කියනව. එතනින් මඩකලපු යන අයට ඒ කෝච්චියෙම යන්න පුළුවන්. ත්‍රිකුණාමලේ යන අය වෙන කෝච්චියකට නගින්න ඕනේ. වොෂ් රූම් එකට ගිහිල්ල මම ත්‍රිකුණාමලේට යන කෝච්චියට නැගගත්ත. ඒකෙ සීට් එහෙම පරණයි ආපු කෝච්චියට වැඩිය. ගල් ඔය හංදියෙන් හැරිල ආයෙත් කෝච්චිය යන්නේ කැලයක් මැද්දෙන්. රේල් පාර දෙපැත්තෙම ලා කොල පාට පඳුරු. අග්බෝපුර, කන්තලේ, තඹලගමුව, චීනවරාය ස්ටේෂන් එහෙම පහු කරගෙන කෝච්චිය ගමනාන්තයට එනව. තව ස්ටේෂන් දෙක තුනක් තියෙනව මන් හිතන්නේ. ඔය ටික විතරයි මට මතක.

ස්ටේෂන් එකෙන් එලියට එන සෙනග දිහා දිහා ත්‍රීවීල් ඩ්‍රයිවර්ල 20ක් විතර ඇහැ ගහගෙන ඉන්නේ හරිම උනන්දුවෙන්. ඔක්කොම වගේ මුස්ලිම් කට්ටිය. ඒ අය ප්‍රධානම ආදායම් මාර්ගේ කෝච්චියෙන් බහින අයව ගමනාන්ත වලට ගිහින් දාන එක මං හිතන්නෙ. වැඩිපුර සංචාරකයෝ ආවොත් තම ඒ අයගේ අතමිට සරුවෙන්නේ. මේ දවස්වල නම් ඒ අයට අතමිට සරු නැතිව ඇති. ජීවත් වෙන්න වෙන විදි හොයාගෙන ඇති. නැත්නම් හොයනව ඇති.

මම හොටෙල් එක ළඟ ත්‍රීවීල් එකෙන් බහිද්දි කලු කොට කලිසමට සුදු කළු ඩිසයින් එකක් තියෙන කමිසයක් ඇඳපු උස කළු හාදයෙක් Allice in Wonderland පොතේ ඉන්න Cheshire Cat වගේ හිනාවක් දාගෙන ඇවිත් රූම් එකේ යතුර මට දුන්න. ඒ තමා ඒ හොටෙල් එකේ අයිතිකාරය ප්‍රෙභා. මට කලින්ම කියල තිබුණෙ මම එන දවසෙ දවල්ට නම් කෑම වෙජිටේරියන් තියෙන්නේ මට එලියෙන් කෑම එකක් ලෑස්ති කරන්නම් කියල.

මම කොච්චියෙදි වෙළෙන්ඳියෙක්ගෙන් රුපියල් සීයක උගුරැස්ස අරගෙන කෑව. මම ඒ වෙලාවේ ටිකක් බඩගිනි වෙලා හිට්යෙත්. මාරම රසයි. මම කාපු රසම උගුරැස්ස එච්චර කාලෙකට. මම තව රුපියල් සීයක උගුරැස්ස ගත්තා හොටෙල් එකට අරන්  ගිහින් කන්න. හොඳට නාගෙන ප්‍රෙභා ගෙනත් දුන්න බත් එක කෑව. අතුරුපසට උගුරැස්ස කෑව. හොඳට ඉදුනු උගුරැස්ස ටිකක් තදට ප්‍රෙස් කරල කද්දි ලාවට කහට රහක් එක්ක එන පැණි රස අමුතුයි. ඒ වගේම නියමයි.  ඊට පස්සේ ප්‍රෙභාගෙන් අයන් එකක් ඉල්ලගෙන බෑග් එකේ තිබ්බ ඇඳුම් ටික ඔක්කොම එකසැරේ මැදල ගහක් වගෙ ඩිසයින් කරල තිබ්බ රැක් එකේ එල්ලුව. දැන් ඔක්කොම කරදර වැඩ ඉවරයි. ස්ප්‍රින් මෙට්ටයක් දාපු කින්ග්-සයිස් බෙඩ් එකේ විනාඩි 10ක් 15ක් ඇලවෙලා හිටිය.

ඊට පස්සේ තුන හමාරට විතර මම ගියා උප්පුවේලි බීච් එකට කොට කලිසමට ටී ෂර්ට් එකක් ඇඳගෙන. මුහුද ඒ වෙලාවේ අළු පාටට හුරු පාටක් තිබුණේ. උප්පුවේලි ධීවර ගම්මානයක්. බීච් එකේ එකම සංචාරකයා මම. අනිත් ඔක්කොම ධීවරයො. මම යද්දි මාදැලක් ගොඩට අදිනවා 15ක් 20ක් විතර කට්ටිය එකතු වෙලා. පෙනුමින් නම් ඒ අය ඔක්කොම වගේ අව්වට පිච්චිච්චි මුහුදට දියවෙච්චි හිනා පොදක්වත් මූණේ නැති මිත්‍රශීලී නැති කළු කැත  මිනිස්සු. ජීවත් වෙන්න දවස ගානෙ මේ මහ මුහුදත් එක්ක පොරකන කළු කැත දුප්පත් මිනිස්සු ගොඩ දෙනෙක්ට මනුස්සකමින් පිරුණු ලස්සන පෝසත් හදවත් ඇති කියල මට ඒ වෙලේ හිතුණේ නැතත් පස්සේ ඒක හොඳටම දැණුනා.

වෙරළ දිගටම බෝට්ටු පේලියක් තිබුණා. රතු පාට, කොල පාට නිල් පාට කහ පාට, තැඹිලි පාට වගේ වයිවාරණ පාට වලින් බෝට්ටුවල බඳ ආලේප කරල තිබුණ. තැන් තැන් වල දැල් කිහිපයක් පොදි පොදි වගේ දාල තිබුණ. ඈත දියඹේ බෝට්ටු රළ උඩ පැද්දි පැද්දි තිබුණ. නැව් දෙක තුනක් ඊටත් ගොඩක් එහායින් පෙනුණ. මම ස්ලිපර්ස් දෙක ගලවල අත් දෙකෙන් එල්ලගෙන රැල්ල පාග පාග වැලි වල එරි එරී දැල් උඩින් පැන පැන වමටත් දකුණටත් හිමින් හිමින් ඇවිද්දා. උප්පුවේලි වෙරළ නම් නිලාවැලි වෙරළ තරම් ලස්සන නෑ. මම ගියෙ අගෝස්තු අග. ඒ සීසන් එක නෙමේද  දන්නෙ නෑ.

මම බීච් එකට කොච්චර ආසා වුනත් මුහුදේ නාන්න නම් යන්නේ නෑ. තනියම නම් ඉන්නේ කොහොමත් යන්නේ නෑ. එකම එක දවසක් යාලුවොත් එක්ක ගිහින් රූමස්සල ජන්ගල් බීච් එකේ නාලා තියෙනවා. එතන නම් ප්‍රසිද්ධ නාන තැනක් සවුත් බීච් එකේ. මම හරිම ආසයි රැල්ල පාගන්න. තද රැල්ලක් ( ගහගෙන යන එකක් නෙවෙයි ) ඇවිත් නිරුවත් කකුල් වල දැවටෙද්දි ඒක අමුතුම ෆීල් එකක්. ඒත් ඒක විස්තර කරන්න සියුම් වැඩියි. හැන්දෑ වෙනකල්ම මම බීච් එකෙ ඇවිද ඇවිද හිටිය. තවත් තැන් කීපෙක මාදැල් අදින්න පටන් ගත්තා. මම ළඟට ගිහින් බැලුවේ නම් නෑ ඒ අය ඒකට කැමති නැතිවෙයි කියල හිතුණු නිසා. එච්චර quality එකක් නැතත් Facebook එකේ දාන්න මගේ මොබයිල් ෆෝන් එකෙන් පොටෝ ටිකක් ගත්ත හැමතැනම. හැන්දෑවෙ හය හමාරට විතර මුහුද පේන නොපෙනෙන ගොම්මනේ මම ආපහු හොටෙල් එකට ආවා. සුදු පාට ගාලා L අකුරේ හැඩේට තිබ්බ පොඩි බීච් හොටෙල් එක බල්බ් එලියෙන් නෑවිලා මාබල් වගේ දිස්නේ. මම කකුල් වලට ඇලිල තිබුණ වැලි ටික එලියෙ වොෂ් රූම් එකෙන් හෝදගෙන රූම් එක ඇරගෙන ඇතුළට ගියා නාගන්න. උණුවතුර ශවර් එක මාරම සනීපයක් සැහැල්ලුවක් ඇඟට දැනුනේ. ඩිනර් එක රූම් එක ඉස්සරහින් වැටිල තියෙන කොරිඩෝවෙ තමා ලෑස්ති කරල තිබ්බේ. ඉඳිආප්ප එක්ක තව මොනාහරි කරි වගයක් තිබුණා. ඩිනර් එක පට්ට රසට තිබ්බ. ප්‍රෙභාට රසට උයන්න පුළුවන් කියල ඊට පස්සෙ වෙලාවක අපි ලන්ච් ගනිද්දි එහා පැත්තෙ රූම් එකේ හිටපු ෆොරිනර් කිව්වා.

මගෙ බීච් පිස්සුව කොච්චරද කියනව නම් ඩිනර් එකට පස්සෙත් මම බීච් එකට ගියා. වැල්ලෙ එරි එරී ගිහින් රැල්ල කකුල්වල වදින නොවදින ගානට හිටගෙන ඈතින් පාවෙන බෝට්ටු වලයි නැව් වලයි පාට පාට ලයිට් එලි දිහා බලන් හිටිය. මාදැල් දාපුවගෙ බල්බ් රැල්ලත් එක්ක සීසෝ පදිනව මං දැක්ක. හරිම සුවදායක හුළං රැල්ලක් මුහුද දිහාවේ ඉඳන් ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඒක හීනයක් වගේ ලස්සන ජීවිතේ එක පාරක් හරි දකින්න ඕනෙ දර්ශනයක් විඳින්න ඕනෙ අත්දැකීමක්. පැය භාගයක් විතර කලුවරේ බීච් එකේ ඉඳල, මම ආපහු රූම් එකට ගිහින් පොටෝ ටික Facebook එකට upload කලා. ට්‍රිප් ගැන Facebook එකේ දාන එක බොළඳ වැඩක් කියල මන් දන්නව උනත් මම ආසයි ලස්සන කැප්ෂන් එකක් එක්ක ට්‍රැවල් ෆොටෝස් දාන්න. ප්‍රෙභා මට දවල් කියල තිබුණ ගොඩක් බලන්න තැන් තියෙනව කියල ත්‍රිකුණාමලේ. ත්‍රීවීල් එකක් ඇරේන්ජ් කරල දෙන්නම් කිව්වාම බර ගාණකට තට්ටු වෙයි කියල හිතුනත් මම හා කියල කිව්ව. මම කෝණේශ්වරන් කෝවිලට යන්න කොහොමත් ආශාවෙන් හිටියෙ. කලින් වතාවක් මම ඇල්ලෙ ගියපු දවසක ඇල්ල බස් ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් එහා ඉඳන් රාවණා ඇල්ල ගාවට යන්න මගෙන් රුපියල් අටසීයක් මගේ හොස්ට් ඇරේන්ජ් කරල දුන්නු ත්‍රීවීල් ඩ්‍රයිවර් ඉල්ලුව. ඇල්ල වැල්ලවාය බස් එකක් ගත්තනම් ස්ටැන්ඩ් එකෙන් රුපියල් පහළොවක්වත් යන්නේ නේ. පහුවදා මම ඇල්ල ස්ටෑන්ඩ් එකෙන් වැල්ලවායට යද්දි තමා තේරුනේ රාවණා ඇල්ල තියෙන්නෙ ඇල්ලට ගොඩක් කිට්ටුවමයි කියල.

රෑ ඇඳේ පෙරලි පෙරලි හිටිය මිසක් හොඳට නින්ද ගියෙනම් නෑ. නිදිපොල මාරු වුනාම මට කොහොමත් නින්ද යනව හොරයි. පහුවදා උදෙන්ම නැගිටල ගිහින් සන් රයිස් එක බැලුව රැල්ල පාගන ගමන්. ප්‍රෙභා නම් මට දිගටම කිව්වේ බීච් එක නාන්න සේෆ් කියල. ඒත් මම නාන්න ආස උනාට අවදානමක් ගන්න කැමැත්තක් තිබ්බේ නෑ. අනිත් එක උප්පුවේලී, පාසිකුඩා කල්කුඩා වගේ රැල්ල ගහන්නෙ නැති ෂැලෝ බීච් එකක් නෙමෙයි. මම පාසිකුඩා ගිහිනුත් නෑවෙනම් නෑ මුහුදෙන්. ආපහු හොටෙල් එකට ගියාම ප්‍රෙභා මගෙන් ඇහුව කීයටද ත්‍රීවීල් එකට එන්න කියන්න ඕනේ කියල. පැයකින් විතර මම නාල කාල රෙඩි වෙද්දි ත්‍රීවිල් එක ඇවිත්. ඩ්‍රයිවර් නියාස් ව මට ප්‍රෙභා හඳුන්වල දුන්න. නියාස් වැඩිය උස නැති ටිකක් මහත රැවුල වවපු කළු මනුස්සයෙක්. රැවුලත් සෑහෙන්න ඉදිල හින්ද බමුණු පෙනුමක් තම මට නියාස්ගෙ පෙනුනෙ. ඒත් නියාස් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් විතරක් නෙමෙයි හරිම අපූරු මගපෙන්වන්නෙක් කියල මට තේරුම් යන්න වෙලාගියෙ නෑ.

අපි කෝණේශ්වරන් කෝවිලට යන අතරේ, නියාස් පොඩි සිල්ලර කඩයක් ළඟින් නවත්තල ටිකිරි මාරි 100g පැකට් එකක් මගෙන සල්ලි ඉල්ලගෙන මට අරන් දුන්න. මම හිතුවේ කොවිලේ මොකක් හරි පූජාවකට සම්ප්‍රදායක් විදිහට මොනව හරි තියන්න ඕනේ ඇති කියල. මම ඊට කලින් කෝණෙශ්වරන් කෝවිලට ගිහින් තිබුණේ නෑ. ඒ තියා ත්‍රිකුණාමලේට ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් එකකින්වත් ඇවිත් තිබුණෙ නෑ. නියාස් ත්‍රීවීල් එක හැරෙව්ව මල්ගස් ගොඩක් වගේ තිබ්බ තැනකට. මං හිතන්නේ ඒක කනත්තක්. මෙන්න ත්‍රීවීල් එක නවත්තපු තැනට පොඩ්ඩක් එහා පැත්තෙ ඉඳන් මුවෝ රංචුවක් අපි ළඟට ආවා. නියාස් විස්කෝතු අරන් ආවෙ ඇයි කියල මට එතකොට තමා තේරුනේ. මම විස්කෝතු පැකට් එක ඉරල එක එක අරගෙන උන්ට කන්න දුන්න. එකෙක් හිටිය ලොකු අංතට්ටුවක් තියෙන එකෙක් ඌ තමා වැඩිපුරම විස්කෝතු කෑවෙ. ඒක තමා මගේ ට්‍රින්කො ට්‍රිප් එකේ හයිලයිට් එක. මම ඒ ට්‍රිප් එකේ වැඩියෙන්ම පුදුම වෙච්චි අවස්ථාව. ඒ ඔක්කොම නියාස්  කියන අපූරු මගපෙන්වන්නගේ සුන්දර මනුස්සයාගේ කරුණාවන්තකමයි මනුස්සකමයි හින්දමයි. ඇත්තටම මම යූටියුබ් එකේ ඊට කලින් ආදරණීය ශ්‍රී ලංකා හරි වෙන ට්‍රැවල් වැඩසටහනක හරි දැකල තිබුණට, මට ට්‍රින්කො වල මුවෝ ගැන හාංකවිසියක්වත් මතක තිබුණෙ නෑ.

ඊට පස්සෙ අපි ගියෙ කෝණේශ්වරන් කෝවිලට. එතන ඉන්න සාස්තර කාරියෝ රටකාපු අම්මණ්ඩිල. රුපියල් 50ක් 100ක් හරි ඊට වැඩි ගාණක් හරි දෙන්න පුළුවන් නම් මනුස්සකමට එක්කෙනෙකුට දෙන්නෙකුට දුන්නට කමක් නෑ. දුප්පත්කම හින්ද ඒ විදිහට සල්ලි හොයනව මිසක් ඔය මනුස්සයො ඔතන බිස්නස් එකක් කරනව කියල මට නම් හිතෙන්නෙ නෑ. හිඟාකනවට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නව විතරයි ඔය මිනිස්සු. හැබැයි සාස්තර අහන්න යන්න එපා ඒ අය parasite ලා වගේ තමා අල්ල ගත්තොත් කාවහරි.

කෝණෙශ්වරන් කෝවිල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ හරිම චමත්කාරජනක තැනක්. එතන ගල උඩ ඉඳන් බලද්දි මුහුද නිල්ම නිල් පාටට පේන්නේ. Luxury රුවල් බෝට්ටු කිහිපයක් ඒ කිට්ටුව මුහුදේ වටේටම හිමින් හිමින් පා වෙවී තිබුණා. සමහර ඒව නැංගුරම් දාල වෙන්න ඇති. මම කොවීලේ තාප්පෙන් එලියේ මුහුද බැලුව වටේම ගිහින්. ෆොටෝ ගැහුව ඇති තරම්.  ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් චමත්කාරජනක පැනොරාමා එකක්.

ඊට පස්සෙ නියාස්  මාව එක්කගෙන ගියේ ට්‍රින්කො වල තියෙන නාවික කෞතුකාගාරයට. ඒක ඒ වෙලාවෙ නම් මිනිස්සු නැතුව පාළුවෙන් තමා තිබුණේ. ඒකෙ ලංකාවේ නාවික හමුදාව පටන් ගත්තු කාලේ පරණ නැව් වල වරායවල් වල dioramas තව exhibits එහෙම තිබුන.

එදා Orr's Hill හමුදා කෞතුකාගාරයට යන්න ගියත් මම මාස්ක් එකක් දාල හිටියෙ නැති හින්ද යන්න දුන්නෙ නෑ. Orr's Hill වලට යන මුහුද අයිනෙන් වැටිල තියෙන පාරත් හරිම ලස්සනයි. ඒ හරියේ බෝට්ටු බැඳල තිබ්බ pier එකට ගිහින් බෝට්ටු වලට නැගලත් බැලුව. ඈතින් ප්‍රීමා එක පේනව ඒ පාර දිගටම. මුහුද පතුල පේන තරමට shallow ඒ පාර දිගටම වගේ. පහුවදා තම Orr's Hill ආමි මියුසියම් එකට යන්න හම්බුනේ. එදා උදෙන්ම අපි ගියා කන්නිය උණුවතුර ළිං වලින් නාගන්න. උදේ පහට විතර අපි යන්න පිටත් වුනේ. ඒත් අපි එතනට යද්දි ඒක open කරල තිබ්බේ නැති හින්ද අපි ගියා වෙල්ගම් රජමහා විහාරය බලන්න. ඒ යන අතරමගදි තවත් පන්සලක් හම්බුනා. මම ඒ පන්සලටත් මල් පූජා කලා එතනම පාර අයිනෙ ගස් වලින් කඩල. වෙල්ගම් රජමහ විහාරයේ නටඹුන් බලාගෙන අපි ඊළඟට ගියෙ පෙරියකුලම් වැව ළඟට. ඒක ටිකක් ලොකු වැවක්. දෙමළ භාෂාවෙන් පෙරිය කියන්නේ විශාල කියන එක කුලම් කියන්නෙ වැවට මං දන්න තරමින්. එතන හරිම අහීමාන තැනක්. කිඹුල නම් පේන්න හිටියෙ නෑ. එතන සොහොනක් වගේ පේන උස අමුතු ගල් සොරොව්ව ළඟ තියෙන ලොකු හුඹහට සර්පයෙක් නම් රිංගනව මම දැක්ක. නියාස් පහළටම බැහැලත් බැලුව. කිඹුල මං හිතන්නෙ ඒ වෙද්දිත් නිදි ඇති. අපි ඌව බලන්න උදෙන්ම එනව ඒ හින්ද ඇවිල්ල ෆොටෝ සැසියට ඉන්න ඕනෙ කියල ඌ දන්නෙ නැනෙ. ඌව බලන්න ආයේ දවසක යන්න ඕනේ. වැව එහා පැත්තෙ අලියෙක් නම් හිටිය.

එතනින් හරවගෙන අපි ආපහු කන්නිය උණුවතුර ළිං ළඟට ආව. ටිකට් අරන් ගිහින් නාගෙන එන ගමන් නියාස් මාව එක්කගෙන ගියා ශ්‍රී ලක්ශ්මි නාරායන කෝවිලට. ඒ කෝවිල ඇතුලට පිරිමි කට්ටිය යන්න ඕනේ ෂර්ට් එකක් නැතුව. එතන තියෙන මාදම් ගහෙන් නියාස් මාදම් ගොඩක් කඩාගත්ත දියවැඩියාවට හොඳයි කියල. ඊට කලින් හරි පස්සෙ හරි අපිට හම්බුනා දෙවෙනි ලෝක යුද්ද කාලේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු එක කනත්තක්. ඒක බ්‍රිතාන්‍ය රජයේ වියදමින් නඩත්තු කරන තැනක් කියල නියාස් මට කිව්වේ. ඒක හරි පිළිවෙලට පවත්වගෙන යන තැනක් කියල බැලූ බැල්මට පේනව.

ඊට පස්සේ මාව ආපහු හොටෙල් එකට ඩ්‍රොප් කරල නියාස් ගෙදර ගිහින් එන්න ගියා ළමයින්ව පංතියකට එක්ක යන්න. කාල නාල එහෙම ටිකක් දවල් වෙලා අපි ගියා Orr's Hill ආමි මියුසියම් එකට. මම පැය තුනකට වැඩිය මියුසියම් එකේ හැමතැනම ඇවිද්දා exhibits බල බලා. ඊට පස්සෙ අපහු එන ගමන් නියාස්  නැවැත්තුව තැඹිලි කඩයක් ළඟ. ඒ අය තාත්තයි පුතයි කියලයි මං හිතුවේ. ඒ දෙන්න බීම එකට තැඹිලි වතුර එක්ක ලොඳත් සූරල දානව. ඊට පාසෙ අයිස් කැටත් ඒ භාජනේට දාල හොඳට කැලැත්තෙන විදිහට තව භාජනයකට වක්කරනව. ඔහොම මාරුවෙන් මාරුවට කීප සැරයක් වක්කරල ඊට පස්සෙ ඒකට දෙහි ගෙඩියක් මිරිකල යුෂ දාල අයෙත් හොඳට කලත්තල serve කරනව. මාර රසයි. ට්‍රින්කො වල මද්දහනෙ රස්නෙට කියාපු බීමක්. පස්සේ නිලාවැලි යන්න හිතුවත් ඉතුරු වෙලා තිබුනේ හවස්වරුවෙ පැය තුන හතරක් විතරක් හින්ද ඒ වෙලාව උප්පුවේලි බීච් එකේම ඇවිදින්න මම හිතුව. එච්චර අපූරු තැන් ගොඩකට මාව එක්කගෙන ගිහිල්ලත් නියාස් දවස් දෙකටම මගෙන් අය කලේ රුපියල් 3000 ටත් අඩුවෙන්.

ට්‍රින්කෝ තමා මම ගියපු ට්‍රිප් වලින් හොඳම එක. මම මේක ලිව්වෙත් මට ඒ මතකය අළුත් කරගන්න ඕනෙ හින්දා.  


























































































දෙයියන් වැඳිල්ල (කඩවර ගොටුව දීම)

  හැම කන්නෙම ගොයම් කපද්දි, අස්වැන්න සරු වුණත් නැතත්, අප්පච්චි පළවෙනි ගොයම් මිටිය කපල වෙනම පෝර උරියකට හරි ගෝනියකට හරි දාල බයිසිකලේ ලැගිජ් එකට...