හැම කන්නෙම ගොයම් කපද්දි, අස්වැන්න සරු වුණත් නැතත්, අප්පච්චි පළවෙනි ගොයම් මිටිය කපල වෙනම පෝර උරියකට හරි ගෝනියකට හරි දාල බයිසිකලේ ලැගිජ් එකට තියල බැඳගෙන ගෙදර අරන් එනව. වේලිලා මදිනම් එලියෙන් ගල්ලැහැ මාගලක හරි තුන්හිරිය මාගලක හරි දාල අව්වේ වනනව. හොඳට වේලුනාම පොල්පිති වලින් එහෙම තලල පාගල බැත ටික කාටු වලින් වෙන් කරගෙන, බොල් වී අයින්කරන්න බෙලිගෙඩි තම්බල ගාල අලවපු පරණ චීත්ත රෙදි කෑල්ල හින්ද පිටපැත්ත ඇතුල්පැත්තට වඩා කළු පාටට පේන කුල්ලකින් හොඳට පොලල, ඊට පස්සෙ ඒ කුල්ලෙන්ම හොඳට හුළං කර ගන්නව. මේ බැත වලින් කාටු වලින් හරි අමුතු ප්‍රසන්න සුවඳක් එනව. (හැබැයි බැරිවෙලාවත් වැස්සට අහුවෙලා කොළ ඉදුනොත් නම් ගොයම් කොලෙත් ගඳයි බැතත් ගඳයි හාලුත් ගඳයි බතුත් ගඳයි )
ඔය වී ටික ගල්ලැහැ පන් වලින් වියපු ලබුකැටයක හැඩේ තියෙන කාදුවක් නැති බෑග් එකට දාල මහත ගෝනි නූලකින් කට ටිකක් පහළට හිටින්න ගැට ගහල ඒක කොහු ලණුවකින් අපි බුදුන් වඳින ඉස්සරම අත්ත නිදාගත්ත ඉස්තෝප්පු කාමරේ පරාලෙකින් හොඳට ගැට ගහල එල්ලනව. ඒ අක්කියාල. ඔය වී ටික පෑහල තමයි කඩවර දෙවියන්ට ගොටුව දෙද්දි ගන්නෙ. කඩවර කියන්නෙ දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක් කියලත් මම සමහර තැන්වල කියවල තියෙනව. ඒත් අපි හැමකෙනෙක්ගෙම ඇතුළේ යක්ෂයා සහ දෙවියා කියන දෙන්නම ජීවත් වෙනව කියන එක අපි හැමෝම අඩු වැඩි වශයෙන් දන්න සහ පිළිගන්න කාරණයක් හින්ද කඩවර කියන්නෙ දෙවියෙක්ද යක්ෂයෙක්ද කියන කාරණාව ගැන අපිට විවාද කරන්න හේතුවක් නෑ මට හිතෙන විදිහට.
අළුත් වී ගෙට අරන් අක්කියාල වහලෙන් එල්ලුවට පස්සෙ කඩවර ගොටුව දෙන කල් කුස්සියේ පපඩම් බදින්නෙ නෑ. කරවල, මිරිස්, මාළු, බිත්තර උයල කෑවට බැදල කන්නෙ නෑ. තෙම්පරාදු කරන්නෙත් නෑ මට මතක් විදිහට. කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, නාරං කැවුම්, ආස්මී වගේ තෙලෙන් බැදල හදන රස්කැවිලි හදන්නෙ නෑ. පිටි කොටන්නෙත් නෑ. ගේ ඇතුළෙවත් කුස්සිය ඇතුළෙවත් කෙසෙල් ඉදවන්නෙත් නෑ. එක පාරක් හරි දෙපාරක් හරි විතරක්, මොකක් හරි විශේෂ උවමනාවකට, ගෙයින් එලියෙ තිබ්බ දරමඩුවේ කෙසෙල් කැනක් හරි දෙකක් හරි ඉදෙව්ව. මේ තහනම් දෙවල් කලොත් එහෙම, කඩවර දෙවියො කෝපවෙලා දෙයියන්ගේ ලෙඩ හැදෙනව තව අනතුරු උපද්‍රව වෙන්නත් පුළුවන් කියල ඔය ගැන අහපු වෙලාවක් අම්ම හරි කිරිඅම්ම හරි කිව්ව මට මතකයි. අපේ ගෙදර ඔය දේවල් අකුරටම පිළිපැද්ද. තාමත් මට ඔය සම්ප්‍රදාය පිටිපස්සෙන් තියෙන තාර්කික, විද්‍යාත්මක හේතුවක් නම් හම්බෙලා නෑ.
කඩවර ගොටුව දෙන එකට දෙයියන් වැඳිල්ල කියල තමා අපි හැමෝම සාමාන්‍යයෙන් කිව්වෙ. මම පොඩිම කාලේ අපේ ගෙදරත් දෙයියන් වැඳල තියෙනව. ඒත් මට වැඩිපුරම මතක මම ඉස්කෝලෙ හයේ හතේ ඉද්දි අහළ පහළ ගෙවල් තුන හතරක කට්ටිය එකතුවෙලා මහගෙදර ගත්ත දෙයියන් වැඳිල්ල. කඩවර දෙයියො කවදාවත් උරණ වුනේ නෑ ගෙවල් දෙක තුනක කට්ටිය එකට එකතුවෙලා දෙයියන් වැන්ද කියල. ඒ කාලෙ අපේ ගෙවල්වල ආදායම වැඩිවුණාට වැඩිය වේගෙන් වියදම වැඩි වෙච්චි හින්ද තනියම ගෙදර දෙයියන් වඳින එක වෙනුවට හැමොම පුරුදු වුණා ගෙවල් දෙක තුනක් එකතු වෙලා වැඩේට යන වියදම බෙදාගන්න. ගෙදර දොර තිබ්බ ඉඩකඩත් එක්ක මහගෙදර තමා හැම අතින්ම අපේ ගෙවල් පැත්තෙ දෙයියන් වැඳිල්ල ගන්න හොඳම තැන වුණේ. කොහොමත් දෙයියන් වැඳිල්ල කරන ගෙදරට වැඩි වියදමක් දරන්න වෙනව සම්බන්ධවෙන අනිත් පවුල් වලට වඩා. මහගෙදර අත්තට පෙන්ෂන් එකට අමතරව වතුපිටිවලිනුත් හොඳ ආදායමක් තිබ්බ හින්දත්, ඒ වගේම කුඹුරු වලින් හැම කන්නෙම වගේ අළුත් වී ගත්ත හින්දත් දෙයියන් වැඳිල්ල මහගෙදර ගන්න එකට විරුද්ධ වුණේ නෑ. දෙයියන් වැඳිල්ල තීන්දු කරගන්නෙ සති තුන හතරකට කලින්. කපුරාළට ආරාධනා කලාම තව දෙයියන් වැඳිලි වලට යන්න තියෙනවද බලල කෙම්මුර දවසකට තමා වැඩේ දාගන්නෙ. හැම තැනම දෙයියන් වැඳිලි අළුත් වී ගෙට ගන්න කාලෙට. මට කියන්න අමතක වෙච්චි අනිත් කාරණාව තමා අළුත් හාල් කෑමට ගන්නෙ දෙයියන් වැඳිල්ලට පස්සෙ. බදාදට වඩා අපි දෙයියන් වැන්දෙ සෙනසුරාදා දවස්වල. ඒ සති අන්තෙ හැමෝටම වගේ නිවාඩු හින්ද.
දෙයියන් වැඳිල්ලට දවස් දෙක තුනක් තියල ඒකට ඕනෑ කරන කළමණා ලෑස්ති කරගන්නව. ඒකට ඕනෙ වෙනව කැකුළු හාල්, තම්බපු හාල්, පොළොස්, කොස්, කොළ ගෝව, වම්බටු, කැකිරි, අච්චාරුවක්, මාළු හුරුල්ලො හරි සාලයො හරි. ඒ වගේම දෙයියන් වැඳිල්ලට හදන විශේෂම කෑම වෙච්චි හත්මාළුවට එලවළු ජාති හතක් ගන්නව. ඒකට අපේ පැත්තෙ ළපටි ඇඹුල් කෙහෙල්, නාඹර කජු, වැටකොළු, පතෝල, කොස් ඇට, මෑ කරල්, වට්ටක්ක දළු එහෙම ගන්නව. පපඩම් එහෙමත් බදිනව. අතුරුපසට කොණ්ඩෙ නැති පැතලි බටර් පාට දෙයියන් කැවුම් හදනව. ඒවට දාන්නෙ පැණි නෙවෙයි සීනි. ඒ හින්ද සාමාන්‍ය කැවුම්වල රන්වන් දුඹුරු පාට එන්නෙ නෑ. බැටර් එක නම් වෙනස් නෑ මං දන්න තරමින්. මම හරිම කැමතියි දෙයියන් කැවුම් කන්න අපේ ගෙදර අවුරුද්දට හරි බාර හාර වලට හරි හදපු පැණි කැවුම් වලට වඩා. දෙයියන් කැවුම් එක්ක ආයෙ අතුරුපසට තියන්නෙ ගොඩක් වෙලාවට දුම් ගස්සල ඉදවපු ඇඹුල් කෙහෙල් හරි සීනි කෙහෙල් හරි. ඒ ස්වාභාවික විදිහට ඉදුණු කෙහෙල් හදිස්සියෙන් හොයාගන්න බැරි හින්ද.
මුලින්ම අප්පච්චි හරි අත්ත හරි කිරිඅම්ම හරි අක්කියාල මල්ලට වැඳල ඒක අරන් ලිහල ඒකෙ තියෙන වී ටික පන් මල්ලකට දාලා ගිහින් දෙනව. මහගෙදර කිරිඅම්ම ඒක වෙනම පරිස්සමින් අරන් තියනව. අක්කියාල ඉඳුල් කරන්න තහනම්. තව එදා කෑමට අළුත් හාල් එහෙම වෙනම ගෙනිහින් දෙනව. අනිත් ගෙවල් වලිනුත් එහෙමයි. කාගෙ හරි ගෙදරක කඩාවැටිච්චි ඇඹුල් කෙහෙකනක් එහෙම තිබ්බොත් ඒකත් ගිහින් දෙනව. කොස් පොළොස් නම් මහගෙදර වත්තෙන්ම කඩාගන්න පුළුවන්. කොස් මැල්ලුමකට කොස් හොයාගන්න නැති වුණොත් බ්‍රහස්පතින්ද පොළෙන් කොළ ගෝව අරන් එනව. මාළු ගෙනත් දෙන්න ගමට මාළු ගේන සුප්පර මනියට දවස් දෙක තුනකට කලින් කියනව. සුබ්‍රමනියම් කියන මාළු වෙළෙන්දගෙ නම ගමේ මිනිස්සු ලේසියට උච්චාරණය කෙරුවෙ සුප්පර මනිය කියල. ඝණ උඩු රැව්ලක් තිබ්බ කෙට්ටු වැඩිය උස නැති දත් දෙක තුනක් තිබ්බ, කිළුටු පාට අත්දිග කමිසෙකුයි සරමකුයි ඇඳල හිටපු හයියෙන් කතාකරන බයිසිකලේ මාලෝ මාලෝ කියල කෑ ගගහ මාළු විකුණපු සුබ්‍රමනියම් පස්සෙ කාලෙක වහබීල මැරුණ කියල ආරංචි වුණා.
දෙයියන් වැඳිල්ල දවසෙ මද්දහන වගේ වෙද්දි වෙද්දි ඒකට සම්බන්ධ වෙන ගෙවල් වල ගෑණු උදවිය ඔක්කොම වගේ මහගෙදර කුස්සියට රොක්වෙනව. මාත් අම්ම හරි කිරිඅම්ම හරි පස්සෙන් වැටිල යනව. මහගෙදර කිරිඅම්ම එතකොටත් වැඩ පටන් අරන්. නෝන නැන්දයි සුමතිපාල මාමයි එනව. කඩේ පුංචිත් එනව. මහගෙදර කුස්සියෙයි ඒකට අල්ලල තියෙන කෑම කාමරෙයි හත් අට දෙනෙකුට එකට වැඩකරන්න් පුළුවන්. සමහරු මිටි බංකු උඩ ඉඳගෙන කෙසෙල් කප කපා සුද්දකර කර ලොකු ඇලුමිනියම් කොරහකට දානව. සමහරු කජු නාඹර කප කපා අතේ කජු කිරි ගෑවෙන්නෙ නැති වෙන්න පරිස්සමට අමු ඉරට කෑල්ලකින් මදේ අයින්කරල භාජනේකට දානව. අක්කියාලේ වී පාහිනව. දෙමෝලෙන් පිටි කොටනව. එලවළු කපනව. පොළොස් පොතු රැහැ රැහැ මාලුවට කෑලිවලට කපනව. කොස් මදුලු අරිනව. ගෝව කොළ සුද්ද කරනව. පොල් ගානව. සුදුයි කළුයි පූස් තඩියව පන්න පන්න, මාළු කපනව. හාල් ගරනව. දර එකතු කරනව. ඉන්න කට්ටියට තේ දෙන්න තේ වක්කරනව. එතන වැඩ කෝටියයි. හැබැයි එකක්වත් ඉඳුල් කරන්න තහනම්. මාළුපිණිවල ලුණු මිරිස්වත් බලන්නෙ නෑ. කපල අයින් කරපු මාළු ඔළු බඩවැල් එහෙම බල්ලන්ට පූසන්ට කන්න නොදී පළපු පෝර උරියකට දාගෙන ගිහින් කොරපොතු හෝදපු වතුර එක්ක ඈතින් පොඩි වලක් කපල වළලනව. දානෙකට කෑම හදනව වගේ තමා. මාත් ඉතින් වැඩකරන ගෑණුකට්ටිය අස්සෙන් රිංග ගෙන ගිහින් වහුපැටියෙක් වගේ හොම්බදාල බලනව හැමතැනම මොනවද කරන්නෙ කියල. මට කරන්න වැඩක් නෑ එතන.
ටික වෙලාවකට පස්සෙ පොඩි කට්ටිය ඔක්කොම ටික එකතු වෙනව. මමයි, සිසිරයි, නලින්දයි, අපේ මල්ලියි, චූටි මල්ලියි, කඩේ ලොකු නංගියි, පොඩි නංගියි එහෙම. චාමිකා නංගිව මතක නෑ එයා ගොඩක්ම පුංචි හින්ද. ටිකක් හවස් වෙලා දූලියද්දෙ කට්ටියත් එනව. තිලකෙ බාප්පත් එනව. හවස් වරුවෙ අපිටත් පොඩි පොඩි වැඩ පැවරෙනව. මායි සිසිරයි කවුරු හරි මාමා කෙනෙක් එක්ක කොටුවෙ කෑල්ලට යනව කෙහෙල් කොළ කපන්න. පිඟන් එහෙමත් අරන් එන්න වෙනව. කඩවර ගොටුව තියන්න අඩි පහක් විතර දිග මෝරපු වැටමාර ලීයක් අතු කෑල්ලක් කපල අරන් උඩු අතට බිමින් හිටවල මුදුනෙ ඉඳන් අඩි තුන් කාලක් විතර පහළට සමාන තීරු තුනක් හරි හතරක් හරි වගේ වෙන්න මන්නෙන් කපල පළනව. එහෙම පළල පෙති දිග ඇරපු ඇරපු නෙළුම් පොහොට්ටුවක් වගේ හිටින්න පැල්මවල් වලට වැට මාර ලී වලින්ම කූඤ්ඤ ගහනව. ඊට පස්සෙ නාරස්සනෙන් පොඩි වලක් හාරල ඒකෙ හිටවනව. ඊට අඩි දෙක තුනක් එහාට වෙන්න ගොක් අත්තකින් මහගෙදර අත්තා වියපු මල්පැලත් වැටමාර කණු තුනක් හිටවල ඒවගෙ මුදුනට තියල ගොක් කොල වලින් හරි කොහු ලණු කෑල්ලකින් හරි බඳිනව. මහගෙදර වත්තෙ හරක් මඩුවට ටිකක් එහායින් තමා කඩවර ගොටුව දෙන තැනයි මල් පැලයි හදන්නේ.
හැන්දෑ වෙද්දි අපි ගෙවල් වලට ඇවිත් ඇඟ හෝදගෙන අළුත් ඇඳුමක් දාගෙන අයෙත් යනව මහගෙදරට. දැන් කපුරාළත් ඇවිල්ල. කපුරාළ අත්තත් එක්ක කඩවර ගොටුව හදනව. කැකුළු බත් ටිකකුයි තම්බපු හාල් බත් ටිකකුයි. උයපු මාළුපිණි හැම එකකින්ම ටික ටික තවපු කෙහෙල් කොලයකින් හදාගත්ත ගොටුවට බෙදාගන්නව. කැවුමයි කෙසෙල් ගෙඩියකුයි උඩින්ම තියනව. බුලත් විටකුත් තියනව. පඬුරුත් තියනව. දියමස් වලට හාල්මැස්සො දෙතුන් දෙනෙකුයි, ගොඩමස් වලට පරණ මුවහං කෑල්ලක් එහෙමත් ගොටුවෙන් තියනව. ඊට උඩින් ලී කෑල්ලකට රෙදි පාංකඩ ඔතල හදාගත්ත පොඩි පන්දම පත්තු කරල ඒක කෙලින් හිටින විදිහට ගොටුව ටිකක් ඇතුළටම බස්සනව. ගොටුව අත් දෙකෙන්ම අල්ලගත්ත කපුරාළ පස්සෙන් අපි ඔක්කොම හිමින් හිමින් පේළියට යනව. කුරුම්බ ගෙඩියයි, ඒක කපන්න පිහියකුයි, පොල් මලයි අපි අරන් යනව. ටෝච් එකේ බැටරි බැහැල නම් හුළු අත්තකුත් පත්තු කරන් යනව. ගිණි පෙට්ටියකුත් සාක්කුවෙ දාගෙන යනව. ගිණි අඟුරු කබලකුත් අරන යනව දුම්මලයි සාම්බ්‍රානියි එක්ක. දැන් හතට විතර ඇති. පිරිමි කට්ටියට විතරයි එතෙන්ට යන්ඩ අවසර තියෙන්නෙ. පිටිපස්සෙම ඉන්න අපි කළුවරේ ගල්වල මුල්වල හැප්පි හැප්පි යනව. කණාමැදිරියො එහෙට මෙහෙට පියාඹනව. අපේ කකුල්වලටම වේලිච්චි කොළ පෑගෙන සද්දෙට මට හිතෙන්නෙම නයෙක් පොළඟෙක් ඉඳල පැනල කයි කියල. වවුල්ලු අපේ සද්දෙට කලබල වෙලා තටු ගහල පියාඹල යනව.
කපුරාල ගොටුව කණුව උඩින් පරිස්සමින් තියල, මල් පැලේ පහන පත්තු කරනව. මට මතක විදිහට හනසු වලින් හදපු විලක්කුවකුත් පත්තු කරගෙන එනව කියල කපුරාළගේ වැඩ වලට. ඒත් හරියටම ෂුවර් නෑ. මේ දේවල් කරන පිළිවෙලත් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. කුරුම්බෙ කපල වතුර ටිකක් අර ගොටුවට වක්කරනව. ඊට පස්සෙ හක්ගෙඩිය පිඹල යාතිකාව පටන් ගන්නව. හක්ගෙඩිය පිඹිණ සද්දෙට කණ් අඩි හිරි වැටෙනව. පිඹල ඉවර වුණාට පස්සෙත් ඒ සද්දෙ විනාඩියක් විතර කණ් ඇතුළෙ දෝංකාර දෙනව. කපුරාල උඩට ඇඳුමක් නැතුව සුදු සරමක් ඇඳගෙන රතුපාට ලේන්සුවක් ඔළුවෙ ජටාව වගේ බැඳගෙන ඉන්නෙ. ටිකකින් යාතිකාව පටන් ගන්නව. කපුරාළ යාතිකාව අතරෙ ගිණි අඟුරු කබලට දුම්මලයි සාම්බ්‍රානියි ඉහිද්දි අඟුරු යකෙක්ගෙ ඇස් වගේ රතුම රතු පාටට දිලිසෙනව. දුම්මල සාම්බ්‍රානි පිච්චෙන සුවඳ යාතිකාව ඉවර වෙනකල්ම වගේ හුළඟේ එල්ලිලා ඉන්නව.
විහාරගෙවල් වල තොරණ් වල ඇඳල ඉන්න යක්කු කළුම කළු පාටට ලෝම පිරුණු රතු ඇස් තියෙන උල් දත් තියෙන උන් උනාට, ඒ චිත්‍ර වලින් ඒ කැටයම් වලින් හැම යකෙක්ම නිරූපණය වෙනවද කියන එක මම ඒ කාලේ නොහිතුවත් දැන් හිතනව. ඔයිට වැඩිය හරිම ප්‍රසන්න පෙනුමක් තියෙන, ලස්සනට හිනාවෙන බොහොම සුහදශීලීව කතාකරන ඔයිට වැඩිය සියදාස් ගුණයක් භයානක යක්කු මේ ලෝකෙ ඉන්නව කියල අපි හැමෝම හොඳටම දන්නව.
කපුරාළ පැයක් විතර තිස්සේ කඩවර දෙයියන්ටත් අනෙකුත් දෙවිවරුන්ටත් කන්නලව් කරනව. මතක විදිහට කුරුම්බ ගෙඩියට පොල්මල් කිණිත්තක් දාල ඒකෙන් අපි කට්ටියටම වදින විදිහට මතුර මතුර කපුරාල පැන් ඉහිනව. මේ පැය තිස්සෙම අපි මදුරුවො තල තලා හිටගෙන වැඳගෙන ඉන්නව. වෙලාවකට කපුරාළ අඬගහන යක්කුයි දෙවිවරුයි ඇවිත්ද කියල මම ඇස් පුළුවන් තරම් ඇරල ලොකු කරල බලනව. පහන් එලිය වැටෙන සීමාවෙ ඇරෙන්න අනිත් හරිය කට්ට කලුවරයි. තනියම ඉන්න නම් බෑ. කට්ටිය ඉන්න හින්ද අවුලක් නෑ. යාතිකාව ඉවර කළාට පස්සෙ අපි කට්ටියම ආපහු මහගෙදර මිදුල පැත්තට යනව. යාතිකාවේ පළවෙනි කොටස එතනින් ඉවරයි.
දැන් තිහක් තිස්පහක් විතර ගෑණු පිරිමි ළමයි මහගෙදර මිදුලට එකතු වෙලා ඉන්නව. මිදුලෙ මාගල් පැදුරු එළල කට්ටියම පන්සලේ බෝධි පූජාවකදි වගේ ඒවගෙ වාඩිවෙනව. කපුරාළ ආයෙත් යාතිකාව පටන් ගන්නව. වෙලාවකට කොඳුරනව. වෙලාවකට බෙරිහන් දෙනව. කොහොම කළත් ඒ මැතිරිල්ලට ඒ කපුරාළට ආවේණික තාලයක් තියෙනව. මතුරන අතරෙම පොල්මල් කිණිත්තෙන් කහවතුර ඉහිනව. කහවතුරෙනුත් නාන්න බැරි හින්ද අපි ටිකක් පස්සට වෙන්න ලොකු කට්ටියට වැහිල ඉන්නව. යාතිකාව ඉවර වුණාම අපි බුලත් කොළවල ඔතල පඬුරු තියනව හෙප්පුව උඩින්. කපුරාළ ආපහු යන්න ලෑස්ති වෙද්දි ඒ පඬුරු ඔක්කොම මල්ලකට එකතු කරල දෙනව ලොකු කෑම පෙට්ටියකුත්, පොඩි ගාස්තුවකුත් එක්ක.
ඊට පස්සෙ එන්නෙ දෙයියන් වැඳිල්ලෙ හොඳම මම කැමතිම කොටස. පෝටිකෝවෙන් ඇතුල් වෙලා ඉස්තෝප්පුව මැද්දෙන් අත්ත වාඩි වෙන ලොකු වේවැල් හාන්සිපුටුව ළඟ තියෙන දොරෙන් සාලෙට ඇතුල් වෙනව. සෘජුකෝණාශ්‍රයක හැඩය තියෙන සාලෙ ලයිට් ඔක්කොම පත්තු කරල දවල් වගේ පේන්නෙ. දකුණු පැත්තේ බිත්තිය දිගට පැදුරු එලල කපුරාලයි මහගෙදර අත්තයි අපේ අත්තයි එක්ක අපි කට්ටියත් වාඩිවෙනව. බාප්පල මාමල නැන්දල එක්ක අප්පච්චිත් අපි කට්ටියට කෑම බෙදනව. මුලින්ම තවපු කෙහෙල් කොල බෙදාගෙන යනව. ඊට පස්සෙ දුම් දාන කැකුළු බත්. ඊට පස්සෙ උණු උණු තම්බපු බත්. බත් ලොකු තසිම් වලට දාගෙන ඇවිත් බෙදන කෙනා නැමිල පීරිසියකින් කෙහෙල් කොලේ මැද්දට දානව. අපිට ඕන තරම් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සෙ හත්මාළුව. දැන් කෑමවල සුවඳට මට කෙළත් ගිලෙනව. ඊට පස්සෙ පොළොස්. පොලොස් තිබුණොත් ගෝව කොල මැල්ලුමක් එනව. පොළොස් නැත්නම් කොස් මැල්ලුමක් තියෙනව. වම්බටු හරි කැකිරි හරිත් තියෙනව. අච්චාරුවකුත් තියෙනව. හුරුල්ලෝ හරි සාලයො හරි මාළු ජාති දෙකෙන් එකක් තියෙනව. බැදපු පපඩම් එහෙමත් බෙදනව. කපුරාළ ඉඳුල් කරල අත්තලත් කන්න ගත්තට පස්සෙ අපිත් කන්න ගන්නව.
පොඩිකාලෙ ඉඳන්ම මම මාළුපිණියි බතුයි හොඳටම අනල කනවට වඩා, බතුයි මාළුපිණියි ටිකයි එකට තියල කලවම් කරල එක එක මාළුපිණි වල රහ වෙන වෙනම දැනෙන විදිහට කන්න තමයි කැමති. උණු උණු දුම් දාන කැකුළු බත් ටිකකට හත්මාළුව ටිකක් කලවම් කරල පොළොස් කෑල්ලකුත් එක්ක හුරුල්ලො පොඩි කෑල්ලක් කඩල කලවම් කරල කද්දි පුදුම රහක් තියෙන්නෙ. මම වෙඩින් වලටයි එක එක function වලටයි ගිහින් කොළඹ තියෙන හැම 5 star හොටෙල් එකකින්ම වගේ එක පාරක් හරි කාලා තියෙනව. තව වෙන රෙස්ටුරන්ට් වලිනුත් කාල තියෙනව. මම කැමතිම මවුන්ට් ලැවීනියා හොටෙල් එකෙ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට. හැබැයි කැකුළු බත්, හත්මාළුව, පොළොස්, හුරුල්ලො මාළු එක්ක ඒ වින්ද රහ නම් වෙන කොහෙදිවත් විඳල නෑ තාම.
සැරෙන් සැරේ කට්ටිය ඇවිත් බත් හත්මාළුව එක්ක අනිත් මාළුපිණිත් බෙදනව. ඊට පස්සෙ දෙයියන් කැවුම් දෙකකුයි කෙහෙල් ගෙඩි දෙකකුයි කෙහෙල් කොලේ අයිනෙන් බෙදාගෙන යනව. අපිට නැගිටින්න බැරි ගාණටම කාලා ඉන්න හින්දද කොහෙද අත් හෝදන්නත් ලොකු ඇලුමිනියම් කොරහකට හරි ප්ලාස්ටික් බේසමකට හරි වතුර ගෙනත් දෙනව. ඒකෙන් අත් හෝදගෙන. ඊට පස්සෙ හම්බෙන ලේන්සුවලින් අත් පිහාගෙන, අමාරුවෙන් කැවුම් ගෙඩි දෙකත් කෙහෙල් ගෙඩි දෙකත් කනව. තව ඕනෙ නම් කුස්සියට ගිහින් ගන්න පුළුවන්. දැන් ඉස්මුරුත්තාවටත් එනව. ඉඳුල් එක්ක කොහෙල් කොළ ටිකත් කවුරු හරි එකතු කරල අරගෙන යනව. කවුරුත් ඒ ගැන එහෙම කතා නොකලට එතනත් තරු පහේ සේවයක් තියෙනව.
මම නැගිටල හිරිවැටිල තියෙන කකුල් හයියෙන් බිම ගහල දිග ඇරල හිරි ඇරගෙන දහය එකොළහ වෙද්දි අත්තයි අප්පච්චියි එක්ක ගෙදර එනව.
No comments:
Post a Comment