Thursday, February 3, 2022

කෝච්චියෙන් ත්‍රිකුණාමලයට

 

ගිය අවුරුද්දේ පළවෙනි කොරොන රැල්ල අඩුවෙලා දෙවෙනි  රැල්ල එනකම් ලොකු අවුලක් නැති කාලයක් නෙ තිබ්බේ. ඒ කාලේ තමා මට ඕනෙ උනේ ත්‍රිකුණාමලේට ට්‍රිප් එකක් යන්න. මට ඉතින් ට්‍රිප් එකක් යන්න හිතුනම යන්නම ඕනේ. පවුල් ප්‍රශ්න වගකීම් නැති මට ඉතින් ට්‍රිප් එකක් යන්න බලන්න ඕනේ ඔෆිස් එකේ හදිස්සි වැඩ මොනවත් තියෙනවද කියලයි විතරයි. කොහොමත් මම ට්‍රිප් එකක් යන්න තෝරගන්නේ වැඩ අඩු කලබලයක් නැති කාලෙක. හිත කරදරෙන් ට්‍රිප් යන්න මම කොහොමත් කැමති නෑ. නිතර ට්‍රිප් යන්න හම්බෙන්නේ නැති හින්ද මට ඒ ඉඳල හිටල යන ට්‍රිප් එක හොඳට නිදහසේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක මම කොහොමත් ආත්මාර්ථකාමී කෙනෙක්. මගේ පාලනයෙන් එලියේ ඉන්න මිනිස්සුන්ගෙ හැසිරීම හින්ද මගේ මම කැමති දේවල් කරන්න තියෙන නිදහස සීමා වෙනවට, මම අකමැති දේවල් කරන්න වෙනවට, මගෙ හිතේ සතුට සාමය නැතිවෙනවට මම කැමති නෑ.  මම හිතන්නෙ මගේ තනිකමට තියෙන අකමැත්තට වඩා නිදහසට තියෙන කැමැත්ත වැඩියි. ඔන්න ඔය හේතුව හින්දා මම ට්‍රිප් යන්නේ තනියම ගොඩක් වෙලාවට . අනිත් එක මට දුර පළාතක දවස් 4 ක වත්  ට්‍රිප් එකක් යන්න ඕනේ. ඔය කොන්දේසී ඔක්කොමත් එක්ක මට කොහොමත් ගැළපෙන්නේ තනියම යන ට්‍රිප් තමා.  

ඔන්න ඉතින් පැය 4ක් 5ක් අන්තර්ජාලය පීරලා හෝටල් 20 ක විතර පොටෝ ටික ඔක්කොමත් බලල, මිල ගණන් සංසන්දනය කරල උප්පුවේලි වල තියෙන ගණන් සාධාරණයි කියල හිතුන පොඩි බීච් හොටෙල් එකක් තෝරගත්ත නවතින්න. දවස් 4 ක රෑ 3ක ට්‍රිප් එකක්. සති අන්තෙකුත් එක්ක සිකුරාදයි සඳුදයි තමා ට්‍රිප් එකට දවස් දාගත්තේ. තනියම ට්‍රිප් යන එකෙන් වෙන්න පුළුවන් අතුරු ආන්තරාවන්ගැන පොඩි දේශනාවක් එහෙම දීලා මිස්ටර් සජිත් නිවාඩුව අනුමත කරල දුන්න.  කෝච්චියෙ තමා යන්නෙ. කොටුව ස්ටේෂන් එකෙන් තම කෝච්චියට නගින්නේ. ත්‍රිකුණාමලේ - මඩකලපුව උදේට යන කෝච්චිය බුක් කරන්න ඕනෙ නෑ. බුක් කරන්නත් බෑ මම දන්න තරමින්. අප්පච්චිට කතා කරල කිව්ව ඒ සති අන්තේ ගෙදර එන්නෙ නෑ කියල. ඊට කලින් සති අන්තේ කියලයි තිබුණෙ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙනව කියල.

ඔන්න දැන් ඉතින් බ්‍රහස්පතින්දා හවස. මිස්ටර් සජිත්ට කියල 4.30 වගේ ඔෆිස් එකෙන් පැනගත්ත. තලවතුගොඩ බෝඩිමට ඇවිල්ල ඇඳුම් ටික පැක් කරන්න ගත්ත. යන්නයි එන්නයි ඇඳුම් දෙකක් වෙනම ඕනෙ. තව එහෙ ගිහින් හොටෙල් එකෙදි අඳින්නයි ඇවිදිද්දි අඳින්නයි ඒවත් ඕනේ. මට ඉතින් ට්‍රැවල් බෑග් එකකට තියෙන්නෙ ලැප්ටොප් එක ගෙනියන්න අරන් තියෙන ලොකු බැක්පැක් එක තමයි. ඒක ඉතින් ඇඳුම් ටික ඔක්කොම දැම්මට පස්සේ වහන්නත් බැරි තරම්. ඒ වගේම බරයි ඉතින්. ඊට පස්සේ අනිත් ඕනෙකරන සබ්බ සකලමනාවමත් බෑග් එකට ඔබා ගත්ත කොහොම හරි. උතුවන්කන්ද පාර ළඟ ත්‍රීවිල් පාර්ක් එකේ ඉන්දික එක්ක උදේ ඔෆිස් යද්දිම මම කියල තිබ්බේ ඊළඟ දවසේ පාන්දර හයර් එක ගැන. ඉන්දිකටත්  කෝල් එකක් දීල ඒගැන මතක් කරල, හොටෙල් එකට කතා කරල බැලුව බූකින් එක හරිද කියල. ඒකත් හරි. උදේට ඇඳන් යන ඇඳුම් ටිකත් මැදල නාලා කාල 3.00 ට ෆෝන් එකේ එලාම් එක තියල නිදාගත්තට නින්ද ගියේනම් නෑ ඉතින්.

උදේ ඉතින් ලකලැහැස්ති වෙලා පාන්දර 4.15 වෙද්දි, ඉන්දික කතා කලා බෝඩිම කිට්ටුවට ඇවිත්. ඉන්දික එක්ක පන්නිපිටිය හන්දියට ඇවිත් 4.40 වගේ වෙද්දි 138 හෝමාගම බස් එකකට නැගගත්ත. කොහොමත් ඔය වෙලාවට 138 බස් කොට කොටා යන්නෙ නෑ. පැය භාගෙන් පිටකොටුවෙ ස්ටේෂන් එකට යන්න තියෙන මගී ගුවන් පාලම ළඟට ආවා. බැක්පැක් එකත් බරට බරේ එල්ලගෙන පඩිපෙල නැගල ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගිහිල්ල හැරිල බැහැල ටික්ට් කවුන්ටරේට ගිහින් ත්‍රිකුණාමලේට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. ඊට පස්සේ ස්ටේෂන් එකේ පොඩි ශොප් එකකින් බිත්තර රෝල්ස් දෙකක් අරගෙන බෑග් එකට දාගත්ත. වතුර බෝතලෙකුත් ගත්ත. වොෂ් රූම් එකටත්  ගිහින් 4 වෙනි වේදිකාවෙ තිබ්බ පුටුවක වාඩි වෙලා දැන් ඉතින් කෝච්චිය එනකම් බලන් ඉන්නවා. එතකොට කොහොමත් 5.30 වගේ ඇති.

ටික වෙලාවකින් කෝච්චිය ආවා. මාත් ඉතින් කවුළුවක් ළඟ සීට් එකක ඉඳගෙන ශටර් එක ඇරගත්තා. මම වාඩිවුනේ ලේක් හවුස් එක පැත්තට මූණ දාගෙන දකුණු පැත්තේ සීට් එකක. ඔය කෝච්චිය  මහව හංදිය ස්ටේෂන් එකට යනකම් එක පැත්තකට ගිහින් ඊට පස්සේ අනිත් පැත්තට යන්නේ. දැන් මම ඉඳගෙන ඉන්න විදිහට කෝච්චිය පිටිපස්සට යනව වගේ තමා දැනෙන්නෙ. මහව හංදිය ස්ටේෂන් එකෙන් පස්සේ පිටත් කොච්චියෙ එන්ජින් එක අනිත් පැත්තට අමුණල තමා යන්නේ. එතකොට මම ඉන්නේ ඉස්සරහට මුහුණ දාගෙන. මම කෝච්චිය ඉස්සරහට යද්දි තමා ගමනට කැමති. ගිහින් එද්දි නම් ඉතින් ඕනෙ පැත්තක්. මාස්ක් එක ගලවල රෝල්ස් දෙක ඉක්මනට කාල ආයෙත් මාස්ක් එක දාගත්තා. අද පත්තරේකුත් ගත්තා කෝච්චිය යන්න පටන් ගන්නකම් කියවන්න. වෙලාව හයට පහයි. හයට පහේ ඉඳන් හයයි පහ වෙනකන් වෙලාව මට දැනෙන්නේ පැය ගාණක් දිගයි වගේ. බැරිම තැන මම වොච් එකේ තත්පර කටුව දුවන දිහා බලන් හිටිය. මොබයිල් එකේ බැටරි පවර් සේව් කරගන්න ඕනෙ පැය අටකට වඩා දුර ගමනක් හින්ද. පොටෝ එකක් එහෙම ගන්න ඕනේ උනොත්. ඒ හින්ද ෆෝන් එක බොහොම මසුරු විඩිහට තමා පාවිච්චි කලේ. මම බැටරි පවර් සේව් කරගන්න මොබයිල් ඩේටා ඕෆ් කරල ෆෝන් එක අල්ට්‍රා මෝඩ් දාගෙන හිටියෙ.

විසිල් එක පිම්ඹට පස්සේ හෝන් එක ගහල කෝච්චිය පැද්දි පැද්දි පිටිපස්සට හිමින් හිමින් යන්න පටන් ගත්ත. ඊට පස්සේ ටික වෙලාවකින් කෝච්චිය යන වේගෙ වැඩිවුනා. රාගම හංදිය, ගම්පහ, වේයන්ගොඩ ස්ටේෂන් පහුකරගෙන පහුකරගෙන ඇවිත් මහව හංදිය ස්ටේෂන් එකෙන් පැය භාගයකට විතර නැවැත්තුව එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණන්න. මාත් බැහැල බැලුව වොෂ් රූම් යන්න ඕනෙකමකුත් තිබ්බ හින්දා. ඒත් ජෙන්ට්ස් වොෂ් රූම් එක රිපෙයාර් කරන ගමන් හින්දා හිත හදාගත්ත ගල් ඔය හංදියට යනකම් ඉවසගෙන ඉන්න. ට්‍රේන් වල ටොයිලට් මාරම අපිරිසිදුයි ගඳයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒවා නිකමටවත් හෝදන්නෙ නැද්ද මන්ද. ඉවසන්නම බැරි උවමනාවකට ඇරෙන්න මම යන්නෙ නෑ මළාට ඒවට.

කෝච්චිය දැන් ආයෙත් ගමන පටන් ගත්තා ඒ පාර හරි පැත්තට ඉස්සරහට. ත්‍රිකුණාමලයට මඩකලපුවට යන පාරෙ ඉතින් විශේෂයෙන් කියල බලන්න දේකට තියෙන්නෙ කලාවැව ස්ටේෂන් එකෙන් පස්සෙ හම්බවෙන කැලෑවල් තමා. හබරණ ගල් ඔය රක්ශිත මැද්දෙන් යද්දි තමා ඒ පාරේ ලස්සන පේන්නෙ. මම ජිරාෆ් වගේ බෙල්ල දික් කර කර බලනවා අලි එහෙම පේන්න ඉන්නවද කියල හරියට බදුලු කෝච්චියෙ යද්දි දිය ඇළි තියෙනවද කියල බලනව වගේ. ඒත් අලියෙක් තියා අලි බෙට්ටක්වත් මට පේන සීමාවේ නම් නෑ. අනිත් එක කෝච්චිය ඔය හරියෙදි යන්නේ බුලට් ට්‍රේන් එකක් වගේ වේගෙන්. ඒ යන වේගෙට අලියෙක් නෙමේ ඩයිනොසෝරයෙක් හැප්පුනත් චප්ප චොරොස් වෙනවා. කැලෙත් පේන්නෙ  ටිකක් බොඳවෙලා වගේ.

ගල් ඔය හංදියෙදි කෝච්චිය නවත්තනව. අපේ පැත්තෙනම් නවත්තනවට හිටවනව කියලත් කියනව. එතනින් මඩකලපු යන අයට ඒ කෝච්චියෙම යන්න පුළුවන්. ත්‍රිකුණාමලේ යන අය වෙන කෝච්චියකට නගින්න ඕනේ. වොෂ් රූම් එකට ගිහිල්ල මම ත්‍රිකුණාමලේට යන කෝච්චියට නැගගත්ත. ඒකෙ සීට් එහෙම පරණයි ආපු කෝච්චියට වැඩිය. ගල් ඔය හංදියෙන් හැරිල ආයෙත් කෝච්චිය යන්නේ කැලයක් මැද්දෙන්. රේල් පාර දෙපැත්තෙම ලා කොල පාට පඳුරු. අග්බෝපුර, කන්තලේ, තඹලගමුව, චීනවරාය ස්ටේෂන් එහෙම පහු කරගෙන කෝච්චිය ගමනාන්තයට එනව. තව ස්ටේෂන් දෙක තුනක් තියෙනව මන් හිතන්නේ. ඔය ටික විතරයි මට මතක.

ස්ටේෂන් එකෙන් එලියට එන සෙනග දිහා දිහා ත්‍රීවීල් ඩ්‍රයිවර්ල 20ක් විතර ඇහැ ගහගෙන ඉන්නේ හරිම උනන්දුවෙන්. ඔක්කොම වගේ මුස්ලිම් කට්ටිය. ඒ අය ප්‍රධානම ආදායම් මාර්ගේ කෝච්චියෙන් බහින අයව ගමනාන්ත වලට ගිහින් දාන එක මං හිතන්නෙ. වැඩිපුර සංචාරකයෝ ආවොත් තම ඒ අයගේ අතමිට සරුවෙන්නේ. මේ දවස්වල නම් ඒ අයට අතමිට සරු නැතිව ඇති. ජීවත් වෙන්න වෙන විදි හොයාගෙන ඇති. නැත්නම් හොයනව ඇති.

මම හොටෙල් එක ළඟ ත්‍රීවීල් එකෙන් බහිද්දි කලු කොට කලිසමට සුදු කළු ඩිසයින් එකක් තියෙන කමිසයක් ඇඳපු උස කළු හාදයෙක් Allice in Wonderland පොතේ ඉන්න Cheshire Cat වගේ හිනාවක් දාගෙන ඇවිත් රූම් එකේ යතුර මට දුන්න. ඒ තමා ඒ හොටෙල් එකේ අයිතිකාරය ප්‍රෙභා. මට කලින්ම කියල තිබුණෙ මම එන දවසෙ දවල්ට නම් කෑම වෙජිටේරියන් තියෙන්නේ මට එලියෙන් කෑම එකක් ලෑස්ති කරන්නම් කියල.

මම කොච්චියෙදි වෙළෙන්ඳියෙක්ගෙන් රුපියල් සීයක උගුරැස්ස අරගෙන කෑව. මම ඒ වෙලාවේ ටිකක් බඩගිනි වෙලා හිට්යෙත්. මාරම රසයි. මම කාපු රසම උගුරැස්ස එච්චර කාලෙකට. මම තව රුපියල් සීයක උගුරැස්ස ගත්තා හොටෙල් එකට අරන්  ගිහින් කන්න. හොඳට නාගෙන ප්‍රෙභා ගෙනත් දුන්න බත් එක කෑව. අතුරුපසට උගුරැස්ස කෑව. හොඳට ඉදුනු උගුරැස්ස ටිකක් තදට ප්‍රෙස් කරල කද්දි ලාවට කහට රහක් එක්ක එන පැණි රස අමුතුයි. ඒ වගේම නියමයි.  ඊට පස්සේ ප්‍රෙභාගෙන් අයන් එකක් ඉල්ලගෙන බෑග් එකේ තිබ්බ ඇඳුම් ටික ඔක්කොම එකසැරේ මැදල ගහක් වගෙ ඩිසයින් කරල තිබ්බ රැක් එකේ එල්ලුව. දැන් ඔක්කොම කරදර වැඩ ඉවරයි. ස්ප්‍රින් මෙට්ටයක් දාපු කින්ග්-සයිස් බෙඩ් එකේ විනාඩි 10ක් 15ක් ඇලවෙලා හිටිය.

ඊට පස්සේ තුන හමාරට විතර මම ගියා උප්පුවේලි බීච් එකට කොට කලිසමට ටී ෂර්ට් එකක් ඇඳගෙන. මුහුද ඒ වෙලාවේ අළු පාටට හුරු පාටක් තිබුණේ. උප්පුවේලි ධීවර ගම්මානයක්. බීච් එකේ එකම සංචාරකයා මම. අනිත් ඔක්කොම ධීවරයො. මම යද්දි මාදැලක් ගොඩට අදිනවා 15ක් 20ක් විතර කට්ටිය එකතු වෙලා. පෙනුමින් නම් ඒ අය ඔක්කොම වගේ අව්වට පිච්චිච්චි මුහුදට දියවෙච්චි හිනා පොදක්වත් මූණේ නැති මිත්‍රශීලී නැති කළු කැත  මිනිස්සු. ජීවත් වෙන්න දවස ගානෙ මේ මහ මුහුදත් එක්ක පොරකන කළු කැත දුප්පත් මිනිස්සු ගොඩ දෙනෙක්ට මනුස්සකමින් පිරුණු ලස්සන පෝසත් හදවත් ඇති කියල මට ඒ වෙලේ හිතුණේ නැතත් පස්සේ ඒක හොඳටම දැණුනා.

වෙරළ දිගටම බෝට්ටු පේලියක් තිබුණා. රතු පාට, කොල පාට නිල් පාට කහ පාට, තැඹිලි පාට වගේ වයිවාරණ පාට වලින් බෝට්ටුවල බඳ ආලේප කරල තිබුණ. තැන් තැන් වල දැල් කිහිපයක් පොදි පොදි වගේ දාල තිබුණ. ඈත දියඹේ බෝට්ටු රළ උඩ පැද්දි පැද්දි තිබුණ. නැව් දෙක තුනක් ඊටත් ගොඩක් එහායින් පෙනුණ. මම ස්ලිපර්ස් දෙක ගලවල අත් දෙකෙන් එල්ලගෙන රැල්ල පාග පාග වැලි වල එරි එරී දැල් උඩින් පැන පැන වමටත් දකුණටත් හිමින් හිමින් ඇවිද්දා. උප්පුවේලි වෙරළ නම් නිලාවැලි වෙරළ තරම් ලස්සන නෑ. මම ගියෙ අගෝස්තු අග. ඒ සීසන් එක නෙමේද  දන්නෙ නෑ.

මම බීච් එකට කොච්චර ආසා වුනත් මුහුදේ නාන්න නම් යන්නේ නෑ. තනියම නම් ඉන්නේ කොහොමත් යන්නේ නෑ. එකම එක දවසක් යාලුවොත් එක්ක ගිහින් රූමස්සල ජන්ගල් බීච් එකේ නාලා තියෙනවා. එතන නම් ප්‍රසිද්ධ නාන තැනක් සවුත් බීච් එකේ. මම හරිම ආසයි රැල්ල පාගන්න. තද රැල්ලක් ( ගහගෙන යන එකක් නෙවෙයි ) ඇවිත් නිරුවත් කකුල් වල දැවටෙද්දි ඒක අමුතුම ෆීල් එකක්. ඒත් ඒක විස්තර කරන්න සියුම් වැඩියි. හැන්දෑ වෙනකල්ම මම බීච් එකෙ ඇවිද ඇවිද හිටිය. තවත් තැන් කීපෙක මාදැල් අදින්න පටන් ගත්තා. මම ළඟට ගිහින් බැලුවේ නම් නෑ ඒ අය ඒකට කැමති නැතිවෙයි කියල හිතුණු නිසා. එච්චර quality එකක් නැතත් Facebook එකේ දාන්න මගේ මොබයිල් ෆෝන් එකෙන් පොටෝ ටිකක් ගත්ත හැමතැනම. හැන්දෑවෙ හය හමාරට විතර මුහුද පේන නොපෙනෙන ගොම්මනේ මම ආපහු හොටෙල් එකට ආවා. සුදු පාට ගාලා L අකුරේ හැඩේට තිබ්බ පොඩි බීච් හොටෙල් එක බල්බ් එලියෙන් නෑවිලා මාබල් වගේ දිස්නේ. මම කකුල් වලට ඇලිල තිබුණ වැලි ටික එලියෙ වොෂ් රූම් එකෙන් හෝදගෙන රූම් එක ඇරගෙන ඇතුළට ගියා නාගන්න. උණුවතුර ශවර් එක මාරම සනීපයක් සැහැල්ලුවක් ඇඟට දැනුනේ. ඩිනර් එක රූම් එක ඉස්සරහින් වැටිල තියෙන කොරිඩෝවෙ තමා ලෑස්ති කරල තිබ්බේ. ඉඳිආප්ප එක්ක තව මොනාහරි කරි වගයක් තිබුණා. ඩිනර් එක පට්ට රසට තිබ්බ. ප්‍රෙභාට රසට උයන්න පුළුවන් කියල ඊට පස්සෙ වෙලාවක අපි ලන්ච් ගනිද්දි එහා පැත්තෙ රූම් එකේ හිටපු ෆොරිනර් කිව්වා.

මගෙ බීච් පිස්සුව කොච්චරද කියනව නම් ඩිනර් එකට පස්සෙත් මම බීච් එකට ගියා. වැල්ලෙ එරි එරී ගිහින් රැල්ල කකුල්වල වදින නොවදින ගානට හිටගෙන ඈතින් පාවෙන බෝට්ටු වලයි නැව් වලයි පාට පාට ලයිට් එලි දිහා බලන් හිටිය. මාදැල් දාපුවගෙ බල්බ් රැල්ලත් එක්ක සීසෝ පදිනව මං දැක්ක. හරිම සුවදායක හුළං රැල්ලක් මුහුද දිහාවේ ඉඳන් ඇවිත් මගේ ඇඟේ දැවටුනා. ඒක හීනයක් වගේ ලස්සන ජීවිතේ එක පාරක් හරි දකින්න ඕනෙ දර්ශනයක් විඳින්න ඕනෙ අත්දැකීමක්. පැය භාගයක් විතර කලුවරේ බීච් එකේ ඉඳල, මම ආපහු රූම් එකට ගිහින් පොටෝ ටික Facebook එකට upload කලා. ට්‍රිප් ගැන Facebook එකේ දාන එක බොළඳ වැඩක් කියල මන් දන්නව උනත් මම ආසයි ලස්සන කැප්ෂන් එකක් එක්ක ට්‍රැවල් ෆොටෝස් දාන්න. ප්‍රෙභා මට දවල් කියල තිබුණ ගොඩක් බලන්න තැන් තියෙනව කියල ත්‍රිකුණාමලේ. ත්‍රීවීල් එකක් ඇරේන්ජ් කරල දෙන්නම් කිව්වාම බර ගාණකට තට්ටු වෙයි කියල හිතුනත් මම හා කියල කිව්ව. මම කෝණේශ්වරන් කෝවිලට යන්න කොහොමත් ආශාවෙන් හිටියෙ. කලින් වතාවක් මම ඇල්ලෙ ගියපු දවසක ඇල්ල බස් ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් එහා ඉඳන් රාවණා ඇල්ල ගාවට යන්න මගෙන් රුපියල් අටසීයක් මගේ හොස්ට් ඇරේන්ජ් කරල දුන්නු ත්‍රීවීල් ඩ්‍රයිවර් ඉල්ලුව. ඇල්ල වැල්ලවාය බස් එකක් ගත්තනම් ස්ටැන්ඩ් එකෙන් රුපියල් පහළොවක්වත් යන්නේ නේ. පහුවදා මම ඇල්ල ස්ටෑන්ඩ් එකෙන් වැල්ලවායට යද්දි තමා තේරුනේ රාවණා ඇල්ල තියෙන්නෙ ඇල්ලට ගොඩක් කිට්ටුවමයි කියල.

රෑ ඇඳේ පෙරලි පෙරලි හිටිය මිසක් හොඳට නින්ද ගියෙනම් නෑ. නිදිපොල මාරු වුනාම මට කොහොමත් නින්ද යනව හොරයි. පහුවදා උදෙන්ම නැගිටල ගිහින් සන් රයිස් එක බැලුව රැල්ල පාගන ගමන්. ප්‍රෙභා නම් මට දිගටම කිව්වේ බීච් එක නාන්න සේෆ් කියල. ඒත් මම නාන්න ආස උනාට අවදානමක් ගන්න කැමැත්තක් තිබ්බේ නෑ. අනිත් එක උප්පුවේලී, පාසිකුඩා කල්කුඩා වගේ රැල්ල ගහන්නෙ නැති ෂැලෝ බීච් එකක් නෙමෙයි. මම පාසිකුඩා ගිහිනුත් නෑවෙනම් නෑ මුහුදෙන්. ආපහු හොටෙල් එකට ගියාම ප්‍රෙභා මගෙන් ඇහුව කීයටද ත්‍රීවීල් එකට එන්න කියන්න ඕනේ කියල. පැයකින් විතර මම නාල කාල රෙඩි වෙද්දි ත්‍රීවිල් එක ඇවිත්. ඩ්‍රයිවර් නියාස් ව මට ප්‍රෙභා හඳුන්වල දුන්න. නියාස් වැඩිය උස නැති ටිකක් මහත රැවුල වවපු කළු මනුස්සයෙක්. රැවුලත් සෑහෙන්න ඉදිල හින්ද බමුණු පෙනුමක් තම මට නියාස්ගෙ පෙනුනෙ. ඒත් නියාස් කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් විතරක් නෙමෙයි හරිම අපූරු මගපෙන්වන්නෙක් කියල මට තේරුම් යන්න වෙලාගියෙ නෑ.

අපි කෝණේශ්වරන් කෝවිලට යන අතරේ, නියාස් පොඩි සිල්ලර කඩයක් ළඟින් නවත්තල ටිකිරි මාරි 100g පැකට් එකක් මගෙන සල්ලි ඉල්ලගෙන මට අරන් දුන්න. මම හිතුවේ කොවිලේ මොකක් හරි පූජාවකට සම්ප්‍රදායක් විදිහට මොනව හරි තියන්න ඕනේ ඇති කියල. මම ඊට කලින් කෝණෙශ්වරන් කෝවිලට ගිහින් තිබුණේ නෑ. ඒ තියා ත්‍රිකුණාමලේට ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් එකකින්වත් ඇවිත් තිබුණෙ නෑ. නියාස් ත්‍රීවීල් එක හැරෙව්ව මල්ගස් ගොඩක් වගේ තිබ්බ තැනකට. මං හිතන්නේ ඒක කනත්තක්. මෙන්න ත්‍රීවීල් එක නවත්තපු තැනට පොඩ්ඩක් එහා පැත්තෙ ඉඳන් මුවෝ රංචුවක් අපි ළඟට ආවා. නියාස් විස්කෝතු අරන් ආවෙ ඇයි කියල මට එතකොට තමා තේරුනේ. මම විස්කෝතු පැකට් එක ඉරල එක එක අරගෙන උන්ට කන්න දුන්න. එකෙක් හිටිය ලොකු අංතට්ටුවක් තියෙන එකෙක් ඌ තමා වැඩිපුරම විස්කෝතු කෑවෙ. ඒක තමා මගේ ට්‍රින්කො ට්‍රිප් එකේ හයිලයිට් එක. මම ඒ ට්‍රිප් එකේ වැඩියෙන්ම පුදුම වෙච්චි අවස්ථාව. ඒ ඔක්කොම නියාස්  කියන අපූරු මගපෙන්වන්නගේ සුන්දර මනුස්සයාගේ කරුණාවන්තකමයි මනුස්සකමයි හින්දමයි. ඇත්තටම මම යූටියුබ් එකේ ඊට කලින් ආදරණීය ශ්‍රී ලංකා හරි වෙන ට්‍රැවල් වැඩසටහනක හරි දැකල තිබුණට, මට ට්‍රින්කො වල මුවෝ ගැන හාංකවිසියක්වත් මතක තිබුණෙ නෑ.

ඊට පස්සෙ අපි ගියෙ කෝණේශ්වරන් කෝවිලට. එතන ඉන්න සාස්තර කාරියෝ රටකාපු අම්මණ්ඩිල. රුපියල් 50ක් 100ක් හරි ඊට වැඩි ගාණක් හරි දෙන්න පුළුවන් නම් මනුස්සකමට එක්කෙනෙකුට දෙන්නෙකුට දුන්නට කමක් නෑ. දුප්පත්කම හින්ද ඒ විදිහට සල්ලි හොයනව මිසක් ඔය මනුස්සයො ඔතන බිස්නස් එකක් කරනව කියල මට නම් හිතෙන්නෙ නෑ. හිඟාකනවට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නව විතරයි ඔය මිනිස්සු. හැබැයි සාස්තර අහන්න යන්න එපා ඒ අය parasite ලා වගේ තමා අල්ල ගත්තොත් කාවහරි.

කෝණෙශ්වරන් කෝවිල ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ හරිම චමත්කාරජනක තැනක්. එතන ගල උඩ ඉඳන් බලද්දි මුහුද නිල්ම නිල් පාටට පේන්නේ. Luxury රුවල් බෝට්ටු කිහිපයක් ඒ කිට්ටුව මුහුදේ වටේටම හිමින් හිමින් පා වෙවී තිබුණා. සමහර ඒව නැංගුරම් දාල වෙන්න ඇති. මම කොවීලේ තාප්පෙන් එලියේ මුහුද බැලුව වටේම ගිහින්. ෆොටෝ ගැහුව ඇති තරම්.  ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් චමත්කාරජනක පැනොරාමා එකක්.

ඊට පස්සෙ නියාස්  මාව එක්කගෙන ගියේ ට්‍රින්කො වල තියෙන නාවික කෞතුකාගාරයට. ඒක ඒ වෙලාවෙ නම් මිනිස්සු නැතුව පාළුවෙන් තමා තිබුණේ. ඒකෙ ලංකාවේ නාවික හමුදාව පටන් ගත්තු කාලේ පරණ නැව් වල වරායවල් වල dioramas තව exhibits එහෙම තිබුන.

එදා Orr's Hill හමුදා කෞතුකාගාරයට යන්න ගියත් මම මාස්ක් එකක් දාල හිටියෙ නැති හින්ද යන්න දුන්නෙ නෑ. Orr's Hill වලට යන මුහුද අයිනෙන් වැටිල තියෙන පාරත් හරිම ලස්සනයි. ඒ හරියේ බෝට්ටු බැඳල තිබ්බ pier එකට ගිහින් බෝට්ටු වලට නැගලත් බැලුව. ඈතින් ප්‍රීමා එක පේනව ඒ පාර දිගටම. මුහුද පතුල පේන තරමට shallow ඒ පාර දිගටම වගේ. පහුවදා තම Orr's Hill ආමි මියුසියම් එකට යන්න හම්බුනේ. එදා උදෙන්ම අපි ගියා කන්නිය උණුවතුර ළිං වලින් නාගන්න. උදේ පහට විතර අපි යන්න පිටත් වුනේ. ඒත් අපි එතනට යද්දි ඒක open කරල තිබ්බේ නැති හින්ද අපි ගියා වෙල්ගම් රජමහා විහාරය බලන්න. ඒ යන අතරමගදි තවත් පන්සලක් හම්බුනා. මම ඒ පන්සලටත් මල් පූජා කලා එතනම පාර අයිනෙ ගස් වලින් කඩල. වෙල්ගම් රජමහ විහාරයේ නටඹුන් බලාගෙන අපි ඊළඟට ගියෙ පෙරියකුලම් වැව ළඟට. ඒක ටිකක් ලොකු වැවක්. දෙමළ භාෂාවෙන් පෙරිය කියන්නේ විශාල කියන එක කුලම් කියන්නෙ වැවට මං දන්න තරමින්. එතන හරිම අහීමාන තැනක්. කිඹුල නම් පේන්න හිටියෙ නෑ. එතන සොහොනක් වගේ පේන උස අමුතු ගල් සොරොව්ව ළඟ තියෙන ලොකු හුඹහට සර්පයෙක් නම් රිංගනව මම දැක්ක. නියාස් පහළටම බැහැලත් බැලුව. කිඹුල මං හිතන්නෙ ඒ වෙද්දිත් නිදි ඇති. අපි ඌව බලන්න උදෙන්ම එනව ඒ හින්ද ඇවිල්ල ෆොටෝ සැසියට ඉන්න ඕනෙ කියල ඌ දන්නෙ නැනෙ. ඌව බලන්න ආයේ දවසක යන්න ඕනේ. වැව එහා පැත්තෙ අලියෙක් නම් හිටිය.

එතනින් හරවගෙන අපි ආපහු කන්නිය උණුවතුර ළිං ළඟට ආව. ටිකට් අරන් ගිහින් නාගෙන එන ගමන් නියාස් මාව එක්කගෙන ගියා ශ්‍රී ලක්ශ්මි නාරායන කෝවිලට. ඒ කෝවිල ඇතුලට පිරිමි කට්ටිය යන්න ඕනේ ෂර්ට් එකක් නැතුව. එතන තියෙන මාදම් ගහෙන් නියාස් මාදම් ගොඩක් කඩාගත්ත දියවැඩියාවට හොඳයි කියල. ඊට කලින් හරි පස්සෙ හරි අපිට හම්බුනා දෙවෙනි ලෝක යුද්ද කාලේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මිහිදන් කරපු එක කනත්තක්. ඒක බ්‍රිතාන්‍ය රජයේ වියදමින් නඩත්තු කරන තැනක් කියල නියාස් මට කිව්වේ. ඒක හරි පිළිවෙලට පවත්වගෙන යන තැනක් කියල බැලූ බැල්මට පේනව.

ඊට පස්සේ මාව ආපහු හොටෙල් එකට ඩ්‍රොප් කරල නියාස් ගෙදර ගිහින් එන්න ගියා ළමයින්ව පංතියකට එක්ක යන්න. කාල නාල එහෙම ටිකක් දවල් වෙලා අපි ගියා Orr's Hill ආමි මියුසියම් එකට. මම පැය තුනකට වැඩිය මියුසියම් එකේ හැමතැනම ඇවිද්දා exhibits බල බලා. ඊට පස්සෙ අපහු එන ගමන් නියාස්  නැවැත්තුව තැඹිලි කඩයක් ළඟ. ඒ අය තාත්තයි පුතයි කියලයි මං හිතුවේ. ඒ දෙන්න බීම එකට තැඹිලි වතුර එක්ක ලොඳත් සූරල දානව. ඊට පාසෙ අයිස් කැටත් ඒ භාජනේට දාල හොඳට කැලැත්තෙන විදිහට තව භාජනයකට වක්කරනව. ඔහොම මාරුවෙන් මාරුවට කීප සැරයක් වක්කරල ඊට පස්සෙ ඒකට දෙහි ගෙඩියක් මිරිකල යුෂ දාල අයෙත් හොඳට කලත්තල serve කරනව. මාර රසයි. ට්‍රින්කො වල මද්දහනෙ රස්නෙට කියාපු බීමක්. පස්සේ නිලාවැලි යන්න හිතුවත් ඉතුරු වෙලා තිබුනේ හවස්වරුවෙ පැය තුන හතරක් විතරක් හින්ද ඒ වෙලාව උප්පුවේලි බීච් එකේම ඇවිදින්න මම හිතුව. එච්චර අපූරු තැන් ගොඩකට මාව එක්කගෙන ගිහිල්ලත් නියාස් දවස් දෙකටම මගෙන් අය කලේ රුපියල් 3000 ටත් අඩුවෙන්.

ට්‍රින්කෝ තමා මම ගියපු ට්‍රිප් වලින් හොඳම එක. මම මේක ලිව්වෙත් මට ඒ මතකය අළුත් කරගන්න ඕනෙ හින්දා.  


























































































No comments:

Post a Comment

දෙයියන් වැඳිල්ල (කඩවර ගොටුව දීම)

  හැම කන්නෙම ගොයම් කපද්දි, අස්වැන්න සරු වුණත් නැතත්, අප්පච්චි පළවෙනි ගොයම් මිටිය කපල වෙනම පෝර උරියකට හරි ගෝනියකට හරි දාල බයිසිකලේ ලැගිජ් එකට...