Wednesday, February 2, 2022

කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා)

 

කොළඹ කොටුවෙන් හැමදාම උදේ හයයි පහට මඩකලපුවට පිටත්වෙන උදය දේවි කෝච්චියෙ දෙවෙනි පන්තියේ මැදිරියක ඉස්සරහම දකුණු පැත්තේ මූණට මූණ දාලා තිබ්බ ඩබල් සීට් දෙකෙන් එකක ලේක් හවුස් එක පැත්තට මූණපාලා  ජනේලේ ළඟම සීට් එකේ වාඩිවෙලා අපේ කෝච්චිය නවත්තල තිබුණු හතරවෙනි ප්ලැට්ෆෝම් එකෙත් ඊට එහා පැත්තෙ ප්ලැට්ෆෝර්ම් දිගෙත් වයිවාරණ ඇඳුම් ආයිත්තම් ඇඳගෙන, එක එක පාට, එක එක සයිස්, එක එක වර්ගවල බෑග්, අතින් එල්ලගෙන යන ඒව, කරින් එල්ලගෙන ඉන්න ඒවා, බිම දිගේ ඇදගෙන යන ඒව අරගෙන දුවන ඇවිදින සක්මන් කරන ගෑණු, පිරිමි හා ළමයි දිහා මාරුවෙන් මාරුවට බල බලා මම හිටියේ කෝච්චිය ගමන පටන් ගන්නකල් නොඉවසිල්ලෙන්.

උදේ පාන්දර කොටුව ස්ටේෂන් එක කඩිගුලක් ඇවිස්සිලා වගේ කලබලේ. හිනාවෙන,  කතාකරන, නිදිමත පෙරෙන, තරහෙන් පුපුරණ, කලබල, සන්සුන්, දුක්බර, සතුට පිරුණු, උද්යෝගිමත්, මලානික, සොඳුරු, අඳුරු, ප්‍රියමනාප, නුරුස්සන, ආදරණීය, උපේක්ෂා සහගත, විඩාබර, තරුණ, වියපත්, පිරිපුන්, කේඩෑරි වෙච්චි මූණු මුහුදක් මම දැක්ක. මගේ කියවීම් හරිත් ඇති වැරදිත් ඇති. අපි අතරෙ සමානකම් වලට වඩා අසමානකම් කොච්චර තිබුණත් ඒ වෙලාවේ අපි හැමෝම කොටුවේ ස්ටේෂන් එක කියන පොදු කුලකයට තාවකාලිකව අයිතිවුණු මිනිස්සු. කොහෙ හරි ඉඳන් ඇවිදින් තවත් කොහෙ හරි දිහාවකට යන්න යන මිනිස්සු. තවත් ටිකක් එහාට හිතුවොත්, මේ දිග සංසාරේ තාමත් නිවන් නොදැකපු අපි හැමෝම වැටි වැටී කකුළුවො වගේ හැම පැත්තටම ඇවිදින මිනිස්සු. මුළු ජීවිතකාලෙම ජීවත්වෙන්න ලෑස්තිවෙන මිනිස්සු. නවතින්න ඕනෙ කියල මතක තියාගන්න හැමදාමත් අමතක වෙන මිනිස්සු. භාගෙවෙලාවට, අපේ අවසාන ගමනාන්තයට යන්න ඕනෑ පාර දැනගෙනත් හැමදාම ඒ ගමන එක එක හේතු හින්ද කල්දාලා දුක්විඳින පසුතැවෙන මිනිස්සු.

මම ඉඳගෙන හිටපු ජනේලේ ළඟට ඇවිත් නැවතුනා තරුණ ජෝඩුවක්; පිරිමි කෙනා යුරෝපියන් කෙනෙක් වගේ පෙණුනේ, ගෑණු කෙනා චීන හරි කොරියන් හරි පෙනුමක් තිබුණේ. ඒ අය ප්ලැට්ෆෝම් එකේ ඉඳන් මට ඉස්සරහ ජනේලේ අයිනේ වාඩිවෙලා හිටපු හිටපු පොඩි මුස්ලිම් පිරිමි ළමයගෙන් ඇහුවේ මේ මඩකලපුවට යන කෝච්චියද කියල. ලොකු ට්‍රැවල් බෑග් දෙකකුත් අරන් ඒ දෙන්න ඇවිත් වාඩිවුණේ අපි මම හිටපු සීට් එකේ එහා පැත්තෙයි. අනිත් සීට් එකේ මෙහා පැත්තෙයි. කෝච්චිය පිටත් වුණා කොටුවෙ ස්ටේෂන් එකෙන් තවත් විනාඩි 10කට විතර පස්සෙ.

මට එහා පැත්තේ වාඩි වුණු Keshia සිංගප්පුරුවෙන්. එයාගේ ආදරවන්තය Cullen ඇමෙරිකාවේ. Keshia ජර්නලිස්ට් කෙනෙක්. Cullen ෆිනෑන්ස් මැනේජර් කෙනෙක්. ඒ දෙන්න යන්නෙ හබරණට. ඒ අය හබරණින් බහිනකම් ම අපි එක එක දේවල් කතා කර කර සද්දෙට හිනා වෙවී ආවා. සෙල්ෆි දෙක තුනකුත් ගත්තා. මම ඒ ගමනේ  සතුටෙන්ම හිටියෙ අපි කතා බහ කර කර ආපු කෙටි වෙලාව. ඒ අය හබරණින් බැහැල යද්දි මට දැණුනේ මුළු පෙට්ටියම එකපාරටම හිස්වුණා වගේ. ඒත් අපි අහම්බෙන් මුණගැහුණු ආයෙත් මුණගැහෙන්න බොහොම අඩු සම්භාවිතාවක් තියෙන පාරවල් දෙකක යන ලෝක දෙකක සංචාරකයෝ. අපේ ජීවිතවල හැමදාටම හමුවීම අහම්බයක් වුණත් සමුගැනීමට සමුදීමට සිදුවීම නියතයක්.

එතකොට මද්දහනට කිට්ටුයි. මම ජනේලෙන් එලියේ දිග ඇරෙන වියළි කලාපයේ තද කොලපාට කැලෑව දිහා බලාගෙන හිටිය. අලි ඇති කියල හිතුවත්, රේල්පාරට පේන මානයක නම් අලි හිටියෙ නෑ. හබරණට පස්සෙ ඊළඟ ස්ටේෂන් එක හතරැස් කොටුව ඊට පස්සෙ ගල් ඔය හන්දිය. මඩකලපුවට යන හින්ද ඒ කෝච්චියෙම හිටිය. ගල් ඔය හන්දියෙදි කෝච්චියේ සෙනග අඩුවුණා. ගල් ඔය හන්දියෙන් ආපහු ගමන පටන්ගන්න කෝච්චිය මින්නේරිය හිඟුරක්ගොඩ ජයන්තිපුර එහෙම පහුකරගෙන පොළොන්නරුවට එනව.

කෝච්චිය සාගරයක් වගේ පේන මහවැලි ගඟ උඩින් වැටුණු මනම්පිටිය පාලම උඩින් යද්දි හරි අපූරුයි. මම මඩකලපුව පැත්තට කෝච්චියෙන්වත් බස් එකකින් වත් ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. ඒ හින්ද ඒක හරිම නැවුම් අත්දැකීමක්. මම ජනේලෙන් පුළුවන් තරම් පහළට බෙල්ල නමල මහවැලි ගඟ දිහා බලාගෙන හිටිය. වතුර ලා දුඹුරු පාටක් තිබ්බේ. කෝච්චි පාලමට සමාන්තරව ටිකක් එහායින් අළුත් මනම්පිටිය පාලම වැටිල තිබුණා. ආයේ දවසක ගිහින් මනම්පිටියෙ පාලම දිගේ ඇවිදින්න ඕනේ.

කෝච්චිය දැන් වියළි කලාපයේ ඉඳන් අර්ධ ශුෂ්ක කලාපයට ඇතුල්වෙනව ටික ටික. තද කොළපාට පරිසරය දැන් කොළපාට වෙලා ටික ටික දුඹුරු පාටට හැරෙනව. රේල් පාර දෙපැත්තෙම පොල්ගස් අඩුවෙලා තල්ගස් වැඩිවෙනව. තැනින තැන ගෙඩි පිරුණු දිවුල් ගස් තියෙනව. සමහරවිට ඒ කන්නේ වතුර නැති හින්ද පුරන්වෙන්න ඇරපු වේලිල කරකුට්ටන් ගැහිච්චි විශාල කුඹුරු යායවල් තිබුණ රේල්පාර දෙපැත්තෙම. නියරවල් උඩ හිටගෙන යෝද තල්ගස් පහළින් තියෙන පුරන් කුඹුරු දිහා ඔහේ බලන් හිටිය.

මනම්පිටියට පස්සෙ වැලිකන්ද අසේලපුර එහෙම පහුකලාම ඊළඟට හම්බෙන ප්‍රධාන ස්ටේෂන් එක තමා පූනානි. මේ හරියෙ රේල්පාර ඉද්දගැහුව වගේ. හරිම කටුක පරිසරයක්. අව්ව මාරම සැරයි. තැනින් තැන තල්ගස් නොතිබ්බ නම් මුළු පැත්තම එක යායට සමතලා ඉඩමක්. පූනානි වලින් පස්සෙ කඩදාසි නගරය ස්ටේෂන් එක. ඊළඟට වාලච්චේන ස්ටේෂන් එක - මගේ ගමනාන්තය. වාලච්චේනත් ප්‍රධාන ස්ටේෂන් එකක්. ට්‍රිප් එක දවස් තුනක්. රෑ දෙකක් මම පාසිකුඩාවල නවතිනව.

වාලච්චේන ස්ටේෂන් එකෙන් කෝච්චියෙන් බැහැපු සෙනග අතින් කටින් බෑග් එල්ලගෙන එලියට එන දොර ළඟ ත්‍රීවිල් ඩ්‍රයිවර්ල පහළොවක් විතර එක පොදියට හිටිය. මම එළියට අඩිය තියද්දි, එක ඩ්‍රයිවර් කෙනෙක් මං ළඟට ඇවිත් ඇහුව යන්නෙ කොහෙටද කියල.මම බුක් කරල තිබ්බෙ බජට් හොටෙල් එකක කාමරයක්. ඒක පාසිකුඩා බීච් එකට මීටර් 100ක් විතර දුරින් තිබ්බෙ. ත්‍රීවිල් ඩ්‍රයිවර් මාව හොටෙල් එක ළඟටම ඩ්‍රොප් කළා. ඒකේ කාමර තිබ්බෙ වෙන වෙනම තැන් තැන්වල කොටේජස් විදිහට. වහලට පොල් අතු හෙවිලි කරල ලෑලි වලින් තමා බිත්ති හදල තිබ්බේ. මූලික පහසුකම් විතරයි. සැප පහසුව නම් මදි. හැබැයි වියදම නම් අඩුයි. රෑට පැය පහක් හයක් නිදාගන්න විතරක් කාමරයක් ඕනෑ නම්, ඒක හොඳටම ප්‍රමාණවත්.

නවාතැන බාරව හිටපු පරණ සුදු අත්දිග කමිසයක් හාගේට අත් නමල කළු දිගකලිසමට උඩින් ඇඳල කළු රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටපු කෙට්ටු කළු උස පළල් නලලට උඩින් අවුල් වෙච්චි පිටිපස්සට ටිකක් නැමුණු කොණ්ඩයක් තිබුණු බැටළුවෙක් වගේ හිනාවෙන තෙවනේසන් මම බුක් කරල තිබ්බ කොටේජ් එකට මාව එක්කගෙන ගිහින් පැඩ්ලොක් එකක් දාපු දොර ඇරල තියෙන පහසුකම් ටික පෙන්නුව. කින්ග් සයිස් ඇඳ හදල තිබ්බේ බිමටම හයිකරපු ලොකු ලී කොටයක් හාරල වගේ මට මතක. ලොකු ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩින් ෆෑන් එකකුත් තිබ්බ. ඉස්සරහ දොර හයිකරල තිබ්බ ලෑලි බිත්තිය දිගට ඇතුළ් පැත්තෙන් බෑග් එහෙම තියන්න පුළුවන් කවුන්ටරයක් වගේ හදල තිබ්බ. CFL බල්බ් එකක් ලී සිවිලිම ඇතුළෙන් ආපු මහත සුදු වයර් එකකින් ඇඳට උඩින් මැද හරියට වෙන්න එල්ලුනා. ඒකෙ එළිය මම කැමති නැති මලානික කහ පාටක් තිබ්බේ. ජනෙල් නැති හින්ද කාමරේ දවල්ට වුණත් ටිකක් අඳුරුයි. වැඩිය උස නැති වහළෙයි ලී සිවිලිමයි හින්ද ඒක ඇතුළ ටිකක් රස්නෙයි. කොටේජ් එක පිටිපස්සෙ තිබ්බ ඇටෑච්ඩ් බාත් රූම් එකට වහළක් තිබ්බේ නෑ. ඒක මට නුපුරුදු ආස්වාදජනක අත්දැකීමක්. එලියෙ පෝච් එකේ ප්ලාස්ටික් වේවැල් වලින් වියපු මිටි ලී හාන්සි පුටු දෙකක් තිබ්බ දොර දෙපැත්තෙන්. කොටේජ් එකෙන් එළියෙ මල්පෝච්චි කීපයක් තිබ්බ. වත්තේ තැන් තැන් වලත් එක එක මල් ජාති වවල තිබ්බ.

බෑග් එක ඇතුළට උණ්ඩි කරල ඔබල තිබ්බ ඇඳුම් ටික එළියට අරන් ඇඳ උඩම තියාගෙන මැද්ද අයන්බෝඩ් එකක් තිබ්බේ නැති හින්ද. ඇඳේ ඇඳුම් මැදිල්ල පණ යන වැඩක් මට නම්. ඒ අතරෙ වහින්න ගත්ත හයියෙන්. ඇඳුම් මැදල ඉවර වෙද්දි තුන හමාරට විතර ඇති. මම වැස්සෙනුයි ෂවර් එකෙනුයි දෙකෙන්ම හොඳට නාගත්ත. ඊට පස්සෙ ලෑස්ති වෙලා වැස්ස ටිකක් තුරල් වෙනකල්, ෆෝන් එක පහුරු ගගා පැය භාගයක් විතර ඇල වෙලා හිටිය ඇඳේ. මට දැන් යකෙක් කන්න බඩගිනියි. වැස්ස ටිකක් අඩුවුණාට පස්සෙ මම බෑග් එකේ දාන් ඇවිත් තිබ්බ   දුඹුරු පාට කොටු කොටු කුඩෙත් ඉහළගෙන, කොටේජ් එකෙන් එළියට ඇවිත් හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන ආවා රෙස්ටුරන්ට් එක ළඟට. තෙවනේසන් ගෙන් ලන්ච් ගන්න තැනක් ගැන අහපුවාම, ළඟම තියෙන මචන්ග් පබ් එක ගැන කිව්ව. උයන ගැණු කෙනා නිවාඩු ගිහින් හින්ද එදාට එහෙන් ලන්ච් ගන්න විදිහක් නෑ කියල තෙවනේසන් මට කලින්ම කියල තිබුණ.

එතනට පොඩ්ඩක් එහා පැත්තේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තමා මචන්ග් එක තියෙන්නෙ. ඒක ලොකු පබ් එකක්. මම කුඩේ අකුළල වතුර එළියට ගසල දොර ළඟින්ම ඇතුළට වෙන්න බිත්තියට හේත්තු කලා. මට වැස්ස පෑව්වට පස්සේ කුඩයක් ගෙනාව කියල අමතක වෙනව. ඒ හින්ද කුඩේ පේන මේසයක් ළඟ තමා වාඩි වුණේ. මිනිස්සු තිහක් විතර ඒ වෙද්දිත් දෙන්න දෙන්න, තුන් හතර දෙනා, සෙට්වෙල මදුවිත තොලගානව. ඒ අයගේ හිත්වල තියෙන ආතතිය, ඒ අයගෙ ගෙවල්වල වැඩපොලවල්වල තියෙන දහකුත් එකක් ප්‍රශ්න, වැල නොකැඩී ඇතුළෙනුත් එන එළියෙනුත් එන හිතට නිවනක් නැති කරදර කම්කටොළු බාධා ඔක්කොම අරක්කු වීදුරුවක ගිල්ලල දියකරල අමතක කරන්න ඔට්ටුවෙනව. ඒත් වතුර හිඳුනාම ළිඳේ අඩිය පේන්න ගන්නව වගේ, වෙරිමත හිඳුනාම අර කරදර ඔක්කොම ආයේ මතුවෙනව. ඒ හින්ද අරක්කු බීලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න හදන මිනිස්සුන්ට ජීවිත කාලෙම බොන්න වෙනව. බීමත්කම අත් අරින්න බැරි පුරුද්දක් වුණාම ඒ අයට තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට තව අළුත් ප්‍රශ්න ගොඩකුත් එකතු වෙනව. මට දැනෙන විදිහට බීමත්කම self-reinforcing habit එකක් වෙන්නෙ එහෙමයි බහුතරයකට.

මම ඕඩර් කරපු සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක විනාඩි 15කට විතර පස්සේ අරන් ඇවිත් මට සර්ව් කලා යුනිෆෝම් එකක් ඇඳපු වේටර් කෙනෙක්. ඒක හරි රසයි. මම බිල ගෙවල මචන්ග් එකෙන් එලියට එද්දි වැහැල ඉවරයි. කාමරේට ඇවිත් කුඩේ දාලා, මම පාර දිගේ ඇවිදගෙන ගියා බීච් එක දිහාට.

ඒ වෙලාවෙ හවස පහට විතර ඇති. වැස්ස පෑව්වට වැහි මන්දාරම එහෙමම තිබුණ. පබ්ලික් බීච් එකට ඇතුල්වෙන තැනම හමුදාවෙන් පවත්තගෙන යන පොඩි ග්‍රොසරියක් තිබ්බ. ඒ හරියේ පාසි කොළපාට වතුර තියෙන වැඩිය ගැඹුරු නැති පතහක් වගේ පෙනුනු ලොකු වලකුයි ඊට තරමක් පොඩි වලකුයි තිබ්බ මතකයි. බීච් එක ඇතුළට  යන්න ඔය දෙක මැද්දෙන් දාල තිබ්බ පොල් කොටයක් දිගේ හරි පටු කණ්ඩියක් දිගේ හරි යන්න සීරුවට අඩිය තිය තියා යන්න වුණා. ඒ වලවල් මොනවද කියල ඇයි ඒ වතුර පාසි කොළපාට කියල තාමත් මම දන්නෙ නෑ.

වැහි මන්දාරමයි හැන්දෑවයි හින්ද අළුපාටට පෙනුනු මූද ටිකක් සැරයි ඒ වෙලාවෙ. ඒත් මම රැල්ල පෑගුව හිතේ හැටියට. මට දකුණු පැත්තේ බෝට්ටු විස්සක් විසිපහක් වෙරළෙ උඩටම වෙන්න නවත්තල තිබ්බ. මූදුගිහින් ආපු එව්ව වෙන්න ඕනේ. තැන් තැන් වල කට්ටිය නනා හිටිය දියකාවො වගේ. සමහරු මං වගේ රැල්ල පාග පාග එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටිය. පාසිකුඩා වෙරළ තීරෙ දිගටම සංචාරක හෝටල් තියෙන හින්ද , ඒ වගේම ධීවර කර්මාන්තෙත් සරුවට කෙරෙන හින්ද, බීච් එක කවදාවත් පාළු වෙන්න විදිහක් නෑ.

හය හමාරට විතර මම චොකලට් අයිස් ක්‍රීම් බාර් එකක් අරගෙන, ඇවිදගෙන යන ගමන්ම ඒකේ කෑලි කීපෙකට ඉරාගෙන අයින්කරගත්ත දවටනේ සාක්කුවට දාගෙන, ඒක හිමින් හිමින් කකා ආපහු මගේ කාමරේට ගියා. ගිහිල්ල නාගෙන, එහා පැත්තෙ තිබ්බ තේ කඩේට ගිහින් අඩයක් කාලා කිරි තේ එකක් බීල පැය භාගෙකට විතර පස්සෙ ආයෙත් කාමරේට ආව. දවල්ට කෑවේත් ගොඩක් හවස්වෙලා හින්ද, දැන් ඉස්මුරුත්තාවට ඇවිත්. හැන්දෑවෙ ගත්තු ෆොටෝ ටික Facebook එකට දාලා මම නිදගත්ත දහයට විතර. පොඩි වැස්සකුත් ගියා මං හිතන්නේ. නිදිපොල වෙනස් හින්ද නින්ද ගියෙනම් නෑ හරියට.

උදේ පහමාර වෙද්දි මම බීච් එකේ ඉර උදාව බලන්න. ෆොටෝ ගන්න. මූද අද සිල් අරන්. හරිම අපූරුයි. මූදුරළ ඇඟිලි තුඩු වලින් හොරෙන් හොරෙන් හිමින් හිමින් ඇවිදගෙන ඇවිත් හිමීට හැරිල ඇඟිලි තුඩුවලින්ම හොරෙන් හොරෙන් හිමින් හිමින්  ආපහු ගියා. වැහිමන්දාරමක් තිබ්බ හින්ද ඉර උදාව ෆොටෝ ගන්න වැඩේ ජෝන් බාස්ට ගියා. ඒත් මූදෙයි වෙරළෙයි ෆොටෝ නම් සෑහෙන්න ගත්ත. හරක් රංචුවක කුර සටහන් වැල්ලෙ තිබ්බ. තැන් දෙක තුනක ගොමත් දාල ගිහින් තිබ්බ. මම වෙරළ දිගේ දකුණු පැත්තට අඩි 15ක් 20ක් විතර ඇවිදගෙන ගියා. ඒ පැත්තෙ වෙරළ දිගට සරුවට වැවුණු ගෙඩි පිරුණු  පැළ පොල්ගස් පේළි දෙකක් තිබුණ. මූදුවතුර අස්සෙන් වීදුරුවක් අස්සෙන් වගේ පතුල පේනව. මූද ඇතුළට මීටර් 100කට එහා ඇවිදගෙන යන්න පුළුවන් තරම් වතුර ගැඹුර අඩුයි. යෝද බේබි පූල් එකක් වගේ. මම හැරිල පටන්ගත්ත තැනටම ආපහු ඇවිදගෙන ආව.

මම හිටපු තැනට පොඩ්ඩක් එහාට වෙන්න සුදට හුරු කමිසෙකුයි පරණ අවපැහැවෙච්චි කළු දිග කලිසමකුයි ඇඳල හිටිය කෙට්ටු කළු මිටි සාමාන්‍ය උඩු රැවුලක් තිබුණු ධීවරයෙක් එයාගේ බෝට්ටුව හිමින් හිමින් තල්ලු කලා මූද දිහාට. මම CCTV කැමරාවක් වගේ වගේ එහෙටයි මෙහෙටයි බෙල්ල කරකව කරකව 360 වීව් එකක් හොයන අතරේ, ඒ පැත්ත බලනව ඒ මනුස්සය දකින්න ඇති දෙතුන් පාරක්ම. 'මහත්තය එනවද යන්න?' මට හරිම පුදුමයි. මම ඒ මනුස්සය එක්ක හිනාවෙලාවෙත් තිබ්බේ නෑ කතා කරනව තියා. මම ඒ පැත්තට ගියා 'ලයිෆ් ජැකට් තියෙනවද?' ‘ඔව් මහත්තෙය නගින්න’. පොඩි චකිතයක් බයක් තිබ්බත්, මට ඒ මනුස්සයගේ කරුණාවන්ත ආරාධනාව අහක දාන්න බැරි හින්ද මම නැග්ග බෝට්ටුවට. බැලන්ස් එක හදාගන්න පොඩිවෙලාවක් ගියා බෝට්ටුව පොඩ්ඩක් පැද්දුනු හින්දා. මම ලයිෆ් ජැකට් එකකුත් ඉල්ලගෙන ඇඳගත්ත. මතක හිටින්න ඒ ධීවරයත් එක්ක සෙල්ෆියකුත් ගත්තා. ඒ මගේ පළවෙනි මුහුදු ගමන. බෝට්ටුව පෙරලුනොත් කියල අනියත බයක් තිබ්බෙ නැතුවම නෙමේ. ඒත් උදේ හයහමාරට විතර, ලා ඉරු එළියෙ, ලාවට රැලි නගන මුහුදු වතුර පසාරුකරගෙන පොඩ්ඩක් පැද්දි පැද්දි බෝට්ටුවෙ යද්දි, ඒක හරිම නැවුම් සොඳුරු අත්දැකීමක්.

කිලෝමීටර් තුනක් විතර මූද ඇතුළට ගිහින් එන්ජින් එක නවත්තල, ඒ හරියේ දාල තිබ්බ දැලක් එකතු කරල බෝට්ටුවට දාගත්ත. එන්ජිම නවත්තපුවාම බෝට්ටුව ටිකක් පැද්දෙනව හැබැයි. දැලට අහුවෙලා හිටිය මම හරියටම දන්නෙ නැති මාළු දෙතුන් දෙනෙකුයි දුඹුරු පාට ටිකක් ලොකු කකුළුවෙකුයි. එක මාළුවෙක් තාමත් ගැහෙනව. මම මාළු කන කෙනෙක්, ඒත් මම බහිනකම් ඒ මාළුව දිහා ආයෙත් නොබල හිටිය. ඒ ධීවර කර්මාන්තෙ කටුක යතාර්තය. ජෙල්ෆිෂ්ල දෙතුන් දෙනෙකුත් දැලට අහුවෙලා හිටිය. දැලෙන් උදුරල ගත්තු ජෙල්ෆිෂ් මූදට වීසි කරන්න මිට මොලවල ගත්තම උන්ගේ කෑලි ඇඟිලි අතරින් මතුවුණා පොල් මිරිකද්දි ඇඟිලි අතරින් කිරි මතුවෙනව වගේ. අපි ආපහු වෙරළට ආවා. එපා කියල පෙරැත්ත කරද්දි මම බලෙන්ම රුපියල් පන්සීයක් ඒ ධීවරයගේ සාක්කුවට දාලා නොසෑහෙන්න ස්තුති කරල ආවා.

ඒ මට මනුස්සකමයි ආගන්තුක සත්කාරයයි වෙන් කරල අඳුනගන්න බැරිතරම් එකට බැඳුණු අවස්ථාවක්. ඒ මට හම්බුණු කවදාවත් අමතක වෙන්නෙ නැති මිනිස්කමෙන් පිරුණු හදවතෙන් පෝසත් මනුස්සයෙක්. දවසක අපි හැමකෙනෙක්ම මතකයක් විතරක් ඉතුරුකරල යන්න යනවා. අපි ඉතුරුකරල යන මතක සම්පූර්ණයෙන්ම අපේ හැසිරීම උඩ තීරණය වෙනව. අපේ හැසිරීම අපේ වටිනාකම් සහ විශ්වාසයන් උඩ තීරණය වෙනව. 'මට වෙන කරන්න දෙයක් නෑ!' කියල අපි කොච්චර හිතුවත් අපේ හිත් ඇතුළෙන් අපි දන්නව අපිට හැමවෙලාවෙම ඊට වඩා ගොඩක් හොඳ ඒත් පෞද්ගලිකව අපහසු හෝ වියදම් අධික තෝරාගැනීමක් තියෙනව කියල.

අනිත් අතට අපි ගන්න හැම තීරණයක්ම, අපිට තියෙන සීමාවන් ගැන හොඳ අවබෝධයක් ඇතුව, අපි අපිටම සම්පූර්ණයෙන්ම අවංකව ගන්නත් ඕනේ. ෂේක්ස්පියර්ගෙ හැම්ලට් කියන නාට්‍යයේ, පොලෝනියස් කියන මේ දෙබස, අපි හැමෝටම හැම කාලෙටම එකවගේම වටින කතාවක්.
“This above all: to thine own self be true
And it must follow, as the night the day
Thou canst not then be false to any man…”
ඒ දෙබසෙ අදහස සරලව ගත්තොත් මේ වගේ "අනෙක් හැම දේකටම වැඩියෙන් වැදගත් වෙන්නෙ ඔබ ඔබට අවංක වෙන එක. දවාල ගතවෙලා රැය උදාවෙනව වගේ හැමතිස්සෙම ඔබ ඔබට අවංක වෙන්න. එහෙම උනොත් ඔබට වෙන කිසිම කෙනෙකුට බොරු කියන්න/ බොරු කරන්න බෑ."

ඒ වගේම, නිරුවතින් ඉන්න මනුස්සයෙක් අපිට ෂර්ට් එකක් දික්කරනව නම් අපි ඒක ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ. මේ කතාවයි මම උඩින් කිව්ව කතාවයි දෙක පරස්පර විරොධී උනත්, මේ තමයි අපි ජීවත්වෙන පාරිභෝගිවාදී ලෝකෙ ඇත්ත මූණ. ඇත්ත බොරුව වෙන් කරල අඳුනගන්න තරම් අපි බුද්ධිමත් නොවුනොත් අපේ මනුස්සකම් අපේ වටිනාකම් හින්දම අපි හරි ලේසියෙන් බොරු වළවල් වලට වැටෙන්න පුළුවන්.

මම මේකේ ගැඹුරු දාර්ශනික දේවල් ලිව්වට මම මහා බුද්ධිමතෙක් නෙමෙයි. මම කරල තියෙන මෝඩ ගොබ්බ වැඩ එකතු කරල ලිස්ට් එකක් හැදුවොත් War & Peace නවකතාව වගේ සියගුණයකටත් වඩා දිග කැටලොග් එකක් හදන්න පුළුවන්. මම ලියන වෙලාවෙ ඔළුවට එන අදහස් මම අකුරු වලට වචන වලට පෙරළනව. ඒව එන්නෙ මම කියවන දෙවල් වලින්. ඒ වගේම තමා මම විශ්වාස කරන විදිහට අපේ ජිවිතය කියන්නෙ සියුම් facets මිලියන ගාණක් තියෙන යෝධ මැණිකක්. ඒකේ සමහර facets අපිට පේන්නේ කවුරුහරි එළියක් - ලේසර් බීම් එකක් හරි කණාමැදිරි එළියක් හරි - අල්ලල පෙන්නුවොත් විතරයි. සමහර ඒව එහෙම පේන්නෙත් නෑ.

රූම් එක ලාබෙට ගත්ත හින්ද මගේ බජට් එක මට කෑමවලට ඉතුරුකරගන්න පුළුවන් වුණා. මෙහෙම කිව්වට ඒක මම ඒ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට වියදම් කරපු ගාණ මටම සාධාරනීකරණය කරගන්න හදාගත්ත හේතුවක් විතරයි. ආපහු රූම් එකට ගිහින් නාලා වෙන ඇඳුමක් දාගෙන Amethyst Resort එකට ගියා බ්‍රේක්ෆස්ට් බුෆේ එකට. ඒ යන අතරමග මොණරු ජෝඩු දෙකක් හම්බුණා. Amethyst Resort එක ලස්සන තැනක්. කොහොමත් පාසිකුඩා වල ලංකාවේ තියෙන හැම ප්‍රධාන හොටෙල් චේන් එකකම වගේ ප්‍රොපටීස් තියෙනව. බුෆේ එකත් හොඳට තිබ්බ. හා හා පුරා කියල කිරිබත් කැට දෙක තුනකින් වැඩ අල්ලල, උදේ 7.30 ඉඳන් 9.45 විතර වෙනකල් හිමින් හිමින් තිබ්බ හැම ඩිෂ් එකකම වගේ රස පරීක්ෂා කළා. බිල ගෙවල ඊට පස්සෙ එතනින්ම බීච් එකටත් ගියා. එකම මූද. එකම වෙරළ. ආපහු එන ගමන් මග හිටපු මොණරුන්ගේ ෆොටෝ දෙක තුනක් ගත්ත.

රූම් එකට ඇවිත් නිල් පාට කොට කලිසමකුයි මගේ අළුපාට පෝලෝ ෂර්ට් එකයි ඇඳගෙන, ආයෙත් ගියා බීච් එකට. හොඳට වැටුණු අව්වේ එළියෙන් වළාකුළු නැති අහස ලාවට රැලි ගහන මූදෙන් හැඩ බල බල හිටිය Narcissus වගෙ. රැල්ලෙන් රැල්ලට හේදි හේදි දියවෙවී යන වතුරේ දාරය ළඟින්ම තියෙන ඇල වැලි බිත්තිය හොඳට මැදපු දුඹුරු සපත්තුවක් වගෙ ගිනිකණ වැටෙන ගානට දිළිසුනා. මම C අකුරේ හැඩේට තිබ්බ පාසිකුඩා බේ එක දිගේ එහා කොණේ ඉඳන් මෙහා කොණට යන්න හිතාගෙන, රැල්ල පාග පාග හිමින් හිමින් වම්පැත්තේ කෙලවරටම ගියා. ඒ හරිය නම් ටිකක් පාළුයි. එතනින් හැරිල අනිත් පැත්තටත් ආපහු ඇවිදගෙන ගියා වතුරෙ දාරය දිගේම. අනිත් පැත්තේ නම් කෙලවරටම යන්න බැරිවුණා. ඇයි කියල නම් දැන් අමතකයි. දෙපැත්තටම හෝටල් තිබුණා මහ ගොඩක්.

ඒ ඕෆ් සීසන් හින්ද සංචාරකයො නම් අඩුයි. සමහරු මූදෙ නනා හිටිය. තවත් අය බීච් එකේ ඉඳගෙන හීටිය. පොඩි ළමයි කෑගගහ රැල්ල පාගනව, දුවනව, පනිනව, වැටෙනව වැල්ල දිගේ එහෙටයි මෙහෙටයි. කීපදෙනෙක් වැලිවලින් මාලිගා හදනව. එක තාත්ත කෙනෙක් බීච් එකේ මුණින් අතට ඉද්දි පොඩි එවුන් තුන් දෙනෙක් වැලිවලින් තාත්තව වහනව මූණ හරිය අත ඇරල. තැන් තැන් වල ධීවරයොත් හිටිය.

ලාවට රැලිගහන නොගැඹුරු මූද කොයි පැත්තෙන් බැලුවත් පළපුරුදු සිත්තරෙක් දියසායම් වලින් ඇන්ද චිත්‍රයක් වගේ. සමහරවෙලාවට ඇහි පිල්ලම් දෙකක් අතරෙ අපිට දකින්න විඳින්න පුළුවන් සොබා සෞන්දර්‍ය වචන දහදාහකින්වත් විස්තර කරන්න බෑ. මම පැය තුනකට වඩා එහෙටයි මෙහෙටයි ඇවිද්ද ෆෝන් එකෙන් ෆොටෝ ගගහ. කැලෑපාරක් අස්සෙන් ඇවිදගෙන මම කල්කුඩා වෙරළටත් ගියා. ඒ හරියෙ මූද පාසිකුඩා තරම්වත් රැලි ගහන්නේ නෑ. පතුල පේන තරම් පැහැදිලි නොගැඹුරු වතුරේ ලොකු පොඩි මාළු ගොඩක් නිදහසේ පීන පීන හිටිය. හැබැයි අතරින් පතර ඉන්න ධීවරයො දෙතුන් දෙනෙක් ඇරෙන්න, කල්කුඩා බීච් එක හරි පාළුයි ඒ වෙලාවේ. ඒ හින්ද විනාඩි 10කින් විතර මම ආපහු පාසිකුඩා බීච් එකටම ආව. එදා බ්‍රෙක්ෆස්ට් සහ ලන්ච් වෙලාව ඇරුණාම මුළු දවසම වගේ හිටියෙ පාසිකුඩා බීච් එකේමයි.

හැන්දෑවෙද්දි අපි කැමති දිහාවක ඉඳල ආපහු යන්න වෙන දවසට කලින් දවසේ හැන්දැවේ එන පැහැදිලි කරන්න බැරි අර්ථදක්වන්න බැරි පාළුව රැල්ලක් වගේ මගේ හිතට ආවා. හරියටම කියනව නම් ඔය හැඟීම තමයි ගමන එන්න පිටත් වෙන දවසට කලින් හැන්දෑවේ දැනෙන මිහිරි කුතුහලේ පිරුණු උද්යෝගයේ ප්‍රතිලෝමය. එකම කාසියේ දෙපැත්ත වගේ. මාලිමාවේ මූණතේ උතුරයි දකුණයි වගේ. හරිම ළඟයි. ඒත් සම්පූර්ණයෙන්ම වෙනස්.

මම පැණිකජු අයිස්ක්‍රීම් කෝන් එකක් කකා හිමින් හිමින් ගියා බීච් එකට සමාන්තරව වැටුණු පටු තාරපාර දිගේ. මට ඉස්සරහින් ආපු කළු බල්ලයි දුඹුරු බල්ලයි උන්ට කතාකරන්න බැරි හින්ද උන්ගේ ඇස්වලින් මගෙන් අයිස්ක්‍රීම් ටිකක් ඉල්ලුවා. මම පෙට් ලවර් කෙනෙක් නොවුණත්, මම කකා හිටපු අයිස්ක්‍රීම් එකෙන් භාගයක් කඩල උන් දෙන්නට කන්න පාර අයිනට දැම්ම. උන් හරිම ආසාවෙන් ඒක කනව දකිද්දි මගේ තියෙන දැඩි ගතිගුණ වලට යටින් මටත් ප්‍රභාශ්වර හිතක් තියෙනව කියල මට හිතුණ. අපි දන් දෙන්න ඕනේ අපි වැඩියෙන්ම කැමති දේවල්. කොච්චර අමාරු වුණත් අපි අත් අරින්න හිත හදාගන්නම ඕනේ අපිට අත් අරින්නම බැරි බැඳීම්. තවත් පැත්තකින් බැලුවාම අපේම කර්ම ශක්තියෙන් පාලනය වෙන මේ දිග සංසාරේ කවදාවත් අපිට නෑදෑ නොවුණු හරි නොවෙන කෙනෙක් ඉන්න පුළුවන්ද?

අපේ ජිවිත, අපේ බැඳීම් කෙටියි. සංසාරේ දිගයි. නිවන දුරයි. අපිට තියෙන සීමිත කාලයෙන් අර්ථවත් දෙයක් කරන ගමන් ජීවිතය විඳින ගමන් මේ ගැනත් සිහියෙන් අවබෝධයෙන් අපි ඉන්න ඕනේ හැමවෙලාවෙම. හැබැයි හැමදේම නිශ්ඵලයි කියල කාලෙ කන එක නම් ජීවිතාවබෝධය නෙමේ කම්මැලිකම. ඒක දෙලොවටම වැඩක් නැති හිස් වැඩක්.

හෝටල් පේළිය ඉවර වෙන තැනට යනකම් ඇවිදගෙන ගිහින් ආපහු හැරිල ආව. මගේ වින්ඩෝ ෂොපින් ඉවර කරල රූම් එකට ඇවිත් නාගෙන ඩිනර් එකට ගියා.

පහුවදා උදේ හතයි හතරට වාලච්චේනෙන් මඩකලපුවෙ ඉඳන් කොළඹට එන කෝච්චියට නැග්ග.
















No comments:

Post a Comment

දෙයියන් වැඳිල්ල (කඩවර ගොටුව දීම)

  හැම කන්නෙම ගොයම් කපද්දි, අස්වැන්න සරු වුණත් නැතත්, අප්පච්චි පළවෙනි ගොයම් මිටිය කපල වෙනම පෝර උරියකට හරි ගෝනියකට හරි දාල බයිසිකලේ ලැගිජ් එකට...