රෑ එළිවෙනකම් කෝච්චියේ නින්දක් නැතුව, පැය 10කටත් වැඩිය වෙලා හිටගෙන ඇවිත්, තාමත් හරිම තෙහෙට්ටුයි. උණුවතුරෙන් නාගෙන ටික වෙලාවක් ස්ප්‍රින්ග් මෙට්ටයක් දාපු කින්ග් සයිස් බෙඩ් එකේ ඇළවෙලා හිටිය. අළුත් බෙඩ් ලිනන් හරි සුවඳයි. මෙට්ටෙත් හරි සනීපයි. කොට්ටත් හරිම සිනිදුයි. කුරුළු පිහාටු උඩ ඉන්නව වගේ. මට වැඩිපුරම එහෙම දැනෙන්න ඇත්තෙ, මම කෝච්චියේ දුශ්කරක්ක්‍රියා කරල තිබ්බ හින්ද. මම ඉන්නෙ ඇල්ලෙ ගෙදරක එළියෙ කාමරේ. මගේ ඇඳ කෙළින්ම ඉස්සරහ දොර. දොරට එහා පැත්තෙ කණ්ණාඩි මේසෙ. ඊට එහා පැත්තෙ ටිවී එක බිත්තියට හයිකරල. ඒකට පහළින් කබඩ් එකක් තිබ්බේ. ඒක උඩ මගේ බැක්පැක් එක. ඇඳට දකුණු පැත්තෙ බිත්තිය දිගටම චෙස් බෝඩ් එකක වගේ සුදුයි කළුයි කොටු ඩිසයින් එකක් තියෙන කර්ටේන් දාපු ෆ්‍රෙන්ච් වින්ඩෝස් දෙකක් තිබුණ. එතකොට වෙලාව හවස තුන හමාරට විතර ඇති. ත්‍රීවිල් එකක් එනව ඇහුණ. ඒ මට රාවණා ඇල්ල බලන්න යන්න කතාකරගත්තු ත්‍රීවිල් එක. මම තද නිල් පාට කොට කලිසමට උඩින් ලා කොළ පාට පෝලෝ ෂර්ට් එකක් ඇඳගෙන තණකොළපෙත්තෙක් වගේ කාමරෙන් එළියට ආවා. ඇවිත් එළියෙ මේසෙ ලැස්ති කරල තිබුණු hawaiian කුකීස් හතරක් පහක් කාලා තේ එකත් බීලා දොරකඩින් එලියට ඇවිත් එතනම පාරට බෑවුම් වෙච්චි මැද්දෙන් කුහරයක් වගේ හේදිලා ගිහින් තිබ්බ උඩ බොරළු පෑදුනු මැද කිරිමැටි වගේ ලා තැඹිලි පාට පස් තිබුණු පල්ලම බයෙන් බයෙන් බැහැල ඊට අඩි තුන හතරක් එහායින් පාරෙ අයිනෙ නවත්තල තිබ්බ රතුපාට ත්‍රීවිල් එකට නැග්ග. ඒක එළෙව්වෙ කොළයි සුදුයි බතික් සරමකට රතුපාට ටීෂර්ට් එකක් ඇඳල කළුපාට සෙරෙප්පු දෙකක් දාගෙන හිටපු ඝන උඩු රැවුලක් තිබුණු සාමාන්‍ය උසක් තිබ්බ රතු මහත හාදයෙක්. හයර් එකට අටසීයක්.
ගෙවල් දෙක තුනක් පහුකරගෙන ගියාට පස්සෙ ඒ පටු පාර දෙපැත්තෙ කඳු බෑවුම් දෙකක්. ඒ දෙකම තේ වතු. ඒ හරිය පහුකරල තවත් ටිකක් ඉස්සර්හට ගියාම පාර දෙපැත්තෙම මූකලාන. ආයෙත් තේ වතු වගයක් හම්බෙනවද කොහෙද. ඊට පස්සෙ හන්දියෙන් දකුණට හැරුණොත් ඇල්ල ස්ටේෂන් එකට. ඇල්ල බස් ස්ටෑන්ඩ් එක ළඟට යන්න වමට දාන්න ඕනෑ. අපි වමට දාලා ඇල්ල බස් ස්ටෑන්ඩ් එක පහුකරගෙන ගියා. අපි දැන් ඉන්නෙ ප්‍රසිද්ධ ඇල්ල වැල්ලවාය පාරෙ. ඇල්ල - වැල්ලවාය කියල පිටිපස්සෙ බෝඩ් එකේ ගහල තිබ්බ සුදුපාට ලේලන්ඩ් බස් එකකුයි රතුපාට ටාටා බස් එකකුයි අපිව පාස් කරගෙන ගියා. මේ පාර හරියටම යෝධ සර්පයෙක් ඇදෙනව වගේ ළඟ ළඟ ලොකු වංගු. දකුණු පැත්තෙ කන්ද. වම් පැත්තෙ හෙල මාරක ළිඳ වගේ. වැහි මන්දාරමේ ඔය පාර දිගේ යද්දි මට ටිකක් බයත් හිතුණ. ත්‍රීවිල් එක පෙරළුනොත් කෙළින්ම ප්‍රපාතේ. මං හිතන්නෙ ඇල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් රාවණා ඇල්ල ළඟට කිලෝමීටර් 5ක් ඇති වැඩිම වුණොත්. අපි වංගු වංගු පහුකරගෙන රාවණා ඇල්ල ළඟට ආව.
අඩි 82 ක් උස ලංකාවෙ පළලම දිය ඇල්ලක් වෙන රාවණා ඇල්ල වැටෙන්නෙ යෝද ඔළු ගෙඩි දෙකක් වගේ පේන ගල් දෙකක් මැද්දෙන්. ඒව හරි බලසම්පන්න තේජාන්විත පෙනුමක් තියෙන පර්වත. ඊට පොඩ්ඩක් එහා පැත්තෙ තවත් ඒ වගේම උස යෝධ ගල් ඔළුවක්. රාවණා ඇල්ල වැටෙන්නෙ මම අර කියපු ගල් දෙක මැද්දෙන් තියෙන කපොල්ලක් වගේ තැනකින්. ඒ හින්ද ගල් මුදුන් තරම් රාවණා ඇල්ල උස නෑ. ඒත් වතුර පාර සැරයි සද්දෙයි පාරෙ ඉඳන් බලද්දිත්. මිනිස්සු මහ ගොඩක් එතන හිටිය ඒ වෙලාවෙත්. සමහරු එතන නෑව. සමහරු එහා පැත්තෙ පීල්ලෙ නෑව. සමහරු මං වගේ වැටෙන් මෙහා පැත්තෙ ඉඳන් ඇල්ල දිහා බලන් හිටිය. ෆොටෝ ගත්ත, සෙල්ෆි ගත්ත. මාත් mobile phone එකෙන් ෆොටෝ දෙක තුනක් ගත්ත. ඒ වෙලාවෙ රාවණා ඇල්ල මට පෙණුනෙම හරිම අහීමාන ගුප්ත තැනක් කියල. මොනව හරි නොපෙනන අඳුරු බලවේග ගොඩක් එතන ඉන්නව වගේ මට හැමතිස්සෙම හිතුණෙ. ඔයිට වඩා කිට්ටුවෙන් ඉඳන් මම තලවකැලේ පූඩලු ඔය දිය ඇල්ල බලල තිබුණ. ඒක රාවණා ඇල්ල වගේ උස නැති වුණත් වතුර ඊට වඩා සැරයි. හෙණ සද්දෙයි. ඒත් ඒක හරිම සොඳුරු දර්ශනයක්. අනිත් එක ඒ වෙලාවේ ඊට වැඩිය හැන්දෑවේ. රාවණා ඇල්ල ළඟ තිබ්බ යෝධ ගල් පර්වත මගේ ඇඟට කඩා වැටෙන්න එනව වගේ මට පෙනුණෙ.
සමහරු ඔතන ගිලිල මැරිල තියෙනව. සමහරු ඇල්ලට පැනල දිවි නහගෙනත් තියෙනව. මට ඇල්ල ළඟින් කළුගල් දිගේ උඩට නගින්න ගියපු සුද්දෙක් වැටිල මැරුණ කියලත් කවුරු හරි කියල තිබුණ. ඔයිට කලින් රාවණා ඇල්ලට ගිහින් තිබ්බ අපේ මල්ලිගෙන් ඇහුවාම මට කිව්වෙ 'එතන මහ මූසල තැනක්' කියල. ගලක් උඩ ලෙස්සල වැටුණ කියලත් කිව්ව. රාවණා ඇල්ල කිට්ටුව තැඹිලි බඩඉරිගු ඒ වගේම තේ ස්නැක්ස් එහෙම විකුණන කඩ තුන හතරක් තිබුණ. වංගුවෙන් පොඩ්ඩක් ඉස්සරහට වෙන්න වම් පැත්තෙ පොඩි රෙස්ටුරන්ට් එකකුත් තිබුණ. මට රාවණා ඇල්ල ගැන මට හිතුණු දේ පේළි දෙකකට ලියල මගෙ facebook එකේ දැම්ම එදා හැන්දෑවෙ. මේ තියෙන්නෙ ඒක.
“Rawana Falls - Majestic and Mysterious. When I looked up, the tall, bare and steep cliffs literally stared me down and I was scared like hell.”
ඇත්තටම රාවණා ඇල්ල අනිත් දිය ඇලි වගේම සොබා දහමේ සුන්දර නිර්මාණයක්. ඒ සුන්දරත්වය ඇතුළෙ අවදානමක් තියෙනව අපි පරිස්සම් වුණේ නැත්නම්. උඩහට වැස්සොත් ඇල්ලෙ වතුර වැඩිවෙනව. අනිත් එක පොඩි පොඩි කළුගල් වතුර එක්ක එනව කියලත් මට කවුරුහරි කිව්ව. තාමත් ගිහිල්ල නැත්නම් දවසක ගිහිල්ල බලන්න. ඒ අත්දැකීම විඳින්න. හැන්දෑවට වඩා උදේට දවල්ට ඇල්ල ලස්සන ඇති මට හිතෙන්නෙ. තද වැහි කාලෙට නම් මහ විශාල වතුර කඳකින් ඒ පැත්තම වැහෙනව් මම වීඩියෝ එකක දැක්ක මතකයි අවුරුද්දකට හමාරකට කලින්. පස්සෙ මට කියවන්න හම්බුණා රාවණා ඇල්ලෙ හරි නම බඹරගල ඇල්ල කියල. රාවණා රජ්ජුරුවන්ගෙ පුරාවෘත්තයට සම්බන්ධ රාවණා ඇල්ල තියෙන්නෙ කිතල ඇල්ල කිට්ටුව කියල. ඔය ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ. ඇල්ල වැල්ලවාය පාරත් ජීවිතේ එක පාරක් හරි ගිහින් බලන්න ඕනෙ පාරක්.
No comments:
Post a Comment